පාකිස්තානයේ ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කිරීමට එරට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව, පැට්‍රල් ලීටරයක මිල රුපියල් 74කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 67කින් වහාම ක්‍රියාත්මක වන පරිදි පහත දමා ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කරන ලද නිල නිවේදනයකට අනුව, නව මිල සංශෝධනයත් සමඟ මෙතෙක් රුපියල් 373ක්ව පැවති පැට්‍රල් ලීටරයක නව මිල රුපියල් 299ක් දක්වා අඩු වේ. එමෙන්ම රුපියල් 378ක්ව පැවති ඩීසල් ලීටරයක මිල රුපියල් 311ක් දක්වා පහත වැටෙනු ඇත.

අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ මැදිහත් වීමෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව, යුද ගැටුම අවසන් වීමත් හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීමත් සමග පාකිස්තාන රජය මෙම තීරණය ගත් බව පැවැසෙයි.

දැඩි ආර්ථික අර්බුදයකින් බැටකන පාකිස්තානය, එරට ඉන්ධන මිල ඉහළ දැමීම කළේ ද ඇමෙරිකන් ඉරාන යුද අර්බුදය සහ හෝමූස් වසා දැමීමට ඉරානය පියවර ගැනීමත් සමගය.

"අප ජනතාවට දුන් පොරොන්දු දේව ආශිර්වාදයෙන් යුතුව ඉටු කරමින් සිටිනවා. හැකි පළමු අවස්ථාවේම ඉහළ දැමූ ඉන්ධන මහිල අඩු  කරන බව මා පැවැසුවා. දැන් එය මා ඉටු කරනවා. පවතින දුෂ්කර ආර්ථික තත්ත්වයන් හමුවේ රටේ ජනතාව මුහුණ දෙන පීඩාවන් පිළිබඳව අපට මැනවින් වැටහුණා. ඒ අසීරු කාලයේ රජය කෙරෙහි විශ්වාසය තබා, ඉවසීමකින් කටයුතු කළ ජනතාවට මාගේ හෘදයාංගම කෘතඥතාව පිරිනමනවා." යැයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

(ද එක්ස්ප්‍රෙස් ට්‍රිබියුන්)