(සුජිත් හේවාජුලිගේ)

බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඇතුළු නිලධාරීන් විවිධ පුද්ගලයන්ගෙන් සාද සහ විනෝද චාරිකා යනාදී වශයෙන් වරප්‍රසාද ලබාගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ විගණන අංශ කළ නියැදි පරීක්ෂාවකදීය.

යම් සේවයක් සඳහා මුදලින් හෝ භාණ්ඩවලින් හෝ සේවාවක ස්වරූපයෙන් හෝ කිසියම් තුටු පඩුරක් තෑගි බෝග හෝ වෙනත් ලාභ ප්‍රයෝජන ආදිය කෙලින්ම හෝ කෙනෙකුගේ මාර්ගයෙන් හෝ බාර නොගත යුතු බව සඳහන් වන්නේ යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර විසමාචාර හෝ අකමිකතා සිදුව ඇති බවට අනාවරණය වූ අවස්ථා තිස් එකක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට නිර්දේශ කර අතිරේක ලේකම් ( විනය විමර්ශන) වෙත යොමු කර තිබුණද ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර ගෙන නොතිබුණු බව එම වාර්තාවේ දැක්වේ.

තවද එකම සේවා ස්ථානයක වසර පහකට වඩා වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරීන් වාර්ෂික ස්ථාන මාරුවීම් වලට යටත් බව සඳහන් වුවත් බොහෝ පාසල්වල වසර පහ ඉක්මවූ ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය කටයුතු කර නොතිබූ බව නියැදී පරීක්ෂාවේදී තොරතුරැ අනාවරණය වී යැයිද ජාතික විගණන කාර්යාලය පවසයි.

රුපියල් කෝටි 20 ඉක්මවූ සියලුම ප්‍රසම්පාදනයන්ට අදාළ ප්‍රසම්පාදන දැන්වීම් ඒජීපී යෙදුම ඔස්සේ ප්‍රසිද්ධ කළ යුතු වූවද රුපියල් කෝටි 20 ඉක්මවූ ප්‍රසම්පාදනයන් තුනක් 2025 වර්ෂයේදී එම පද්ධතියට ඇතුළත් කර නොතිබුණු බව විගණන වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ 2025 වර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.