(අංජුල මහික වීරරත්න)

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන දේශපාලන ප්‍රතිවාදීන්  හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍ර වෙත යොමු නොකළ යුතු  බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ වර්තමාන රජය බලයට පැමිණියේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වෙමින් බවය. 

එහෙත් එම පරීක්ෂණවල වර්තමාන ප්‍රගතිය අනුව එම පොරොන්දුව ඉටු කරන්නේද සහ විමර්ශනයේ විශ්වාසනීයත්වය රැකෙන්නේද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්න මතුවන බවද ඔහු පැවසීය.

සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ පක්ෂපාතී නොවන විමර්ශනයකට තමා විරුද්ධ නොවන බවත්, එවැනි විශ්වාසනීය පරීක්ෂණයක් සඳහා තමා දැඩිව සහාය දක්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“මෙම කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාව පිටුපස සිටින සැබෑ කුමන්ත්‍රණකරුවන් හඳුනාගෙන නීතිය අනුව දඬුවම් ලබාදිය යුතු බව අප දැඩිව විශ්වාස කරමු,” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.