(ඩයනා උදයංගනී)

අහිංසක ජනතාවගේ ලේවලින් බලයට ඒමට කවුරුන් හෝ උත්සාහ කළා නම් ඔවුන්ට ඒ බලය භුක්ති විඳින්නට කවදාවත් ඉඩ ලැබෙන්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

මේ වන විටත් රටට ශාපයක් උදාවූ තත්වයක් දක්නට ලැබෙන බව කී කාදිනල්තුමෝ වැරදි කළ අයට රට ඉදිරියට ගෙනයන්නට නොහැකි අයුරින් ඒ ශාපය ඔවුන්ටත් ප්‍රශ්නයක් වී ඇති බව පෙනෙන්නේ යැයි සඳහන් කළහ.

මෙරට සතුටින් ජීවත් වෙමින් සිටි බොහෝ දෙනකුගේ ජීවිත අන්ධකාරයට ඇද වැටී, එදාවේල හොයාගෙන ජීවත්වෙන්න තිබූ වාතාවරණයත් නැතිවී ගොස් ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් දිවි අහිමි වූ අහිංසක මිනිස්සුන්ගේ ලේ ස්වර්ගයට මොරදෙනවාක් මෙන් යැයි ද කාදිනල්තුමෝ කීහ.  

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරගුරුතුමෝ මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී මාස 30ක් (වසර දෙක හමාරක්) සම්පූර්ණ වූ අද (21) දින, එම ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවේවායි පතමින් හා මිය ගිය අයට මොක් සුවපතමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වූ විශේෂ යැදුම් මෙහෙයට එක්වෙමිනි.
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී මාස 30ක් ගතවී ඇතත්, එය පිටුපස සිටියේ කවුරුන්ද යන්න තවමත් ප්‍රශ්නයක් බව කී කාදිනල්තුමෝ, එය පිළිබඳ විමරශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේ ඕනෑවට එපාවට බවත්, එහි විමර්ශනත් ඇණහිට තිබෙන බවත් පෙනෙන්නේ යැයි කීහ.

ආරක්‍ෂක අංශවල උසස් නිලධාරීන් මේ විමර්ශන යට ගසන්නට විශාල උත්සාහයක යෙදෙන බව අපිට දැනගන්නට ලැබී ඇතැයි කී කාදිනල්තුමෝ වර්තමානයේදී රට තුළ නීතියේ ආධිපත්‍යය සරදමට ලක්කර ඇති බවත්, එක රටක්, එක නීතියක් කියා පොරොන්දු වූ අය තමන්ගේ අයට එක නීතියකුත්, අනිත් අයට තව නීතියකුත් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ප්‍රකාශ කළහ.

විනාශකාරී පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන්නට අදාළ නිලධාරීන්ට බලය, ශක්තිය නොදෙන්නේ හා එය යටපත් කරන්නට ඇතැමුන් උත්සාහ කරන්නේත්, නීතිය ඉදිරියට පැමිණවිය යුතු අය ආරක්‍ෂා කරන්නේත් තමනුත් ඒ වරදේ කොටස්කරුවන් නිසාද කියා ප්‍රශ්න කරන බව ද කාදිනල්තුමෝ පැවසූහ.

නමුත් අහිංසක මිනිසුන්ගේ ලේ හලපු අයට කවමදාවත් සැඟවී සැනසිල්ලේ සිටින්නට ඉඩලැබෙන්නේ නැති බව මතක තබාගත යුතුයැයි කී කාදිනල්තුමෝ තමන් නිවැරදිකරුවන් නම්, මේ විමර්ශන ස්වාධීනව කරන්නට ඉඩදෙන්නැයි ඉල්ලා සිටින බව ද කීහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)