(ඩයනා උදයංගනී)

වර්තමානයේ රට තුළ පවතින ක්‍රමවේදය අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සාධාරණයක් ඉටුවේද යන්න ගැන තැබිය හැකි බලාපොරොත්ත අල්ප යැයි  කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.

රටේ අධිකරණය ගැන විශ්වාසයක් ඇතත් නීතිය ක්‍රියාත්මක කරන සෙසු ආයතන ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවත්, මෙරට තුළ සාධාරණයක් ඉටු නොවුවහොත් ජාත්‍යන්තරය තුළ ගත හැකි පියවර තිබෙන බවත් පියතුමෝ කීහ.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියතුමෝ මෙසේ ද පැවසූහ.

“රට තුළ පවතින ක්‍රමවේදය අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළිවේද යන්න මෙන්ම සාධාරණය ඉටුවේද යන්න ගැන අපට ඇති බලාපොරොත්තු ඉතා අල්පයි. අපිට රටේ අධිකරණය ගැන විශ්වාසයක් තිබෙනවා. නමුත් අධිකරණයේ නඩුව ගොණු කළ යුත්තේ නීතිපතිවරයායි. මේ වන විට නීතිපතිවරයා ළඟ ජනාධිපති කොමිෂන් සභා දෙකක වාර්තා තිබෙනවා. ඒත් ඒ වාර්තාවල ඇති නිර්දේශ අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවක් පේන්නේ නැහැ. ඇතැම් නඩු සම්බන්ධයෙන් නීතිපතිවරයා කටයුතු කරන ආකාරය ගැන අපට ගැටලු තිබෙනවා.

අපි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට දී සාධාරණය ඉටුකරගැනීමට හැකිතරම් උත්සාහ කර තිබෙනවා. ඒත් සාධනීය ප්‍රතිචාර නොමැති නිසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්, විදේශීය රජයන් සමඟ සාකච්ඡා කර වතිකානයටත් දැනුම් දී ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ගැනීමට අපට සිදුවුණා.

නිදහසින් පසු සැම රජයක්ම ස්වාධීන ආයතනවලට බලපෑම් කර තිබෙනවා. අපේ රටේ දූෂිත දේශපාලනඥයන් හා දේශපාලනීකරණය වී ඇති පොලීසිය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව හරහා කරගත නොහැකි දේවල් ජාත්‍යන්තරය මට්ටමේදී කරගත හැකියි. ඒ නිසා ජාත්‍යන්තර අධිකරණය, මානව හිමිකම් කොමිසම ආදී ගත හැකි පියවර අපි ගන්නවා.