(පුෂ්ප කුමාර මල්ලවආරච්චි)

ලියාපදිංචි නොකළ අධි බලැති යතුරු පැදියක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීම වළක්වා ගැනීම සඳහා බෙම්මුල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබා දීමට තැත් කළ පුද්ගලයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්  අද අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි යතුරුපැදි කාර්මිකයෙකි.

නියමිත ධාරිතාවයට වඩා වැඩි සහ ලියාපදිංචි නොකළ යතුරුපැදියක් ධාවනය කිරීම සම්බන්ධයෙන් බෙම්මුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම යතුරුපැදිය සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් තොරව නිදහස් කර ගැනීම සඳහා සැකකරු විසින් මෙම අල්ලස් මුදල ලබා දීමට උත්සාහ කර ඇත.

බෙම්මුල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු කළ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ වැටලීම් නිලධාරීන්, රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ කාර්යාල කාමරයේදී මෙම වැටලීම සිදු කර තිබේ.