
(රංජන් කස්තුරි)
පිරිසිදු පොල් තෙල් අඩු මිළට ලබා ගැනීමට පාරිභෝගිකයාට ඇති අයිතිය තහවුරු කරන ලෙස පාරිභෝගික අයිතින් සුරකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි
එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ සඳහන් කරන්නේ රජයේ නව බදු ප්‍රතිපත්ති අනුව එළෙඹෙන අප්‍රේල් 01 වැනි දා සිට වෙළඳපොළේ පොල් තෙල් මිල ඉහළ යා හැකි බවයි.
මෙම තත්ත්වය මත ෆාම් තෙල් හා වෙනත් තෙල් වර්ග වෙෙළදපොළ තුළ සුලබ විය හැකි බවටද ඔහු අනතුරු අගවයි.
පාරිභෝගික අයිතින් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ඉකුත්දා (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදි මෙම කරුණු අනාවරණය කළේය.
එහිදි තව දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.
ශ්‍රී ලංකාව විවිධ වූ ජාතීන් ජීවත්වන බහුවාර්ගික රටක්. ශ්‍රී ලංකාවේ ජනතාවට ආවේනික වූ ආහාර සැකසීමේ රටාවක් තිබෙනවා. ඒ අනුව බහුතරයක් වූ පාරිභෝගිකයින් සිය ආහාර සකසා ගැනීම සදහා පොල්තෙල් භාවිතා කරනවා. ඒ නිසාම පොල්තෙල් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තියට අනුව මෙම අප්‍රේල් පළමුවෙනිදා සිට වෙළදපොලේ පොල්තෙල් මිල වැඩි වීමට නියමිතයි.
එසේ විමෙන් මේ රටේ පාරිභෝගිකයන්ට පොල්තෙල් මිලට ගැනීමට සිදුවන්නේ වැඩි මිලටයි. මේ අනුව වෙළදපොලේ ෆාම්තෙල් මෙන්ම වෙනත් තෙල් වර්ග වෙළදපොල තුළ සුලබ වීම අනිවාර්යයෙන් සිදුවනවා. මොකද නව බදු සංශෝධනයත් එක්ක පොල් තෙල් මිල ඉහල ගොස් ෆාම් තෙල් මිළ අඩුවනවා. ඒ විතරක් නෙමෙයි..ෆාම් තෙල් හා වෙනත් විවිධ තෙල් වර්ගත් පොල් තෙල් සමග කලවම් කරලා පොල් තෙල් හැටියට වෙළදපොලට එනවා..
පාරිභෝගිකයින් හැටියට අපි රජයෙන් හැමදාම ඉල්ලා සිටියේ පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට පිරිසුදු පොල්තෙල් මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙනන්න කියලයි. ලංකාවේ පාරිභෝගිකයින්ගේ ආහාර සංස්කෘතියට අනුව නිතර නිතර මස්මාලු හා වෙනත් ආහාර ගැඔුරු තෙලේ බැද ගැනීම සිදු කරනු ලබනවා. ඒත් වෛද්‍යවරු කියන්නේ ගැඔුරු තෙලේ ආහර පිසීම සදහා සුදුසු වන්නේ පොල්තෙල් පමණක් වන බවත් පාම්තෙල් සහ වෙනත් තෙල් වර්ග ආහාර ගැඔුරු තෙලේ බැදීම සදහා භාවිතා කිරීම ලෙඩ රෝග වලට අත වැනීමක් වන බවයි. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ පිරිසිදු පොල්තෙල් අඩු මිලට ලබා ගැනීමට පාරිභෝගිකයාට ඇති අයිතිය තහවුරු කරන්න කියලයි.
ඒ අයිතියට වැට බදිනු ලබන්නේ පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනකරුවන් බව පැහැදිලිව පෙනී යනවා. එසේ වන්නේ අප රටේ පාරිභෝගිකයින්ට පරිභෝජනය කිරීමට අවශ්‍ය පොල්තෙල් නිෂ්පාදනය කිරීමට තිබෙන පොල් මිලදී ගෙන ඔවුන් විසින් ඩොලර් උපයා ගැනීම ගැනීම සදහා පොල් ආශ්රිත නිෂ්පාදන නිෂ්පාදනය කර අපනයනය කිරීමයි.
එහි ප්‍රතිඵලය වන්නේ මෙරට වෙළදපොලේ පොල්තෙල් හිගවීමයි. එමගින් පාරිභෝගිකයින් පොල්තෙල් වෙනුවට ෆාම් තෙල් හා වෙනත් තෙල් වර්ග පරිභෝජනය සදහා තල්ලු කිරීමක් සිදු කරනු ලබනවා.එම නිසා අපි පැහැදිලිවම කියන්නේ ආනයනය කරලා හරි කමක් නෑ දේශීය වෙළදපොලේ අඩුම මිලට මිලදී ගන්න පොල් තෙල් තිබිය යුතුයි කියලයි.ඒ වගේම වෙනත් තෙල් වර්ග පාරිභෝජනය කිරීමට පාරිභෝගිකයා බලෙන් පෙළඹවීම නොකළ යුතුයි.එහෙම කරන්න බැරිනම් පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනය කිරීම නවතා දැමිය යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd