(අංජුල මහික වීරරත්න)

රටේ පාලකයන් බුදු දහමට ප්‍රමුඛතාව ලබාදීම සඳහා බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලන යුගයේදී පවා බුදු දහමට ප්‍රමුඛත්වය ලබා දීම යන කාරණය පිළිගෙන ඒ අනුව කටයුතු කළ බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

බුදු දහමට ලැබිය යුතු ප්‍රමුඛතාවය අහිමි කළහොත් කරන්නේ කුමක්දැයි පක්ෂ නායකයින් මහා නාහිමිවරුන් සමඟ සාකච්ඡා කරන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ගාල්ල, මණ්ඩලපුර ශ්‍රී මිහිඳු මහා විහාරය ඇතුළු විහාරාද්වයාධිපති පැලවත්තේ චන්දිම නා හිමි වෙත "ධර්මකීර්තී ශ්‍රී පියජෝති" යන ගෞරව නාම සම්මුතිය සහිත "ගාලු මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය" පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.

අක්කපත්‍ර ප්‍රදානය රනිල් වික්‍රමසිංහ මහතා අතින් මණ්ඩලපුර මිහිඳු මහා විහාරස්ථානයේදී සිදු කෙරිණි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

ගාලු දිසාව කියන්නේ අපේ බෞද්ධ පුනරුදයට සංඝයාවහන්සේගෙන් මෙන්ම ගිහි අයගෙනුත් සේවය ලැබුණු තැනයි. ඒක අපට අමතක කරන්න බැහැ. විශේෂයෙන්ම අපි හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්වහන්සේව සඳහන් කළ යුතුයි. මොකද උන්වහන්සේගේ නායකත්වයෙන් තමයි මේ පුනරුදය ඇති වුණේ. උන්වහන්සේ නොහිටියා නම් මේ පුනරුදය නොවෙන්න තිබුණා. මිගෙට්ටුවත්තේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝයාවහන්සේලා එකතු කරගෙන පානදුරාවාදය ඇතුළු විවාදවලට නායකත්වය දෙන්න උන්වහන්සේට පුළුවන් වුණා.

මේ බෞද්ධ පුනරුදයෙන් බුද්ධාගම ඉදිරියට ආවා. 1972 අපේ ව්‍යවස්ථාව සකස් කරන අවස්ථාවේත්, ජේ. ආර්. ජනාධිපති විපක්ෂ නායක හැටියට බුද්ධාගමට විශේෂ තැනක් ලබාදෙන්න කියා ඉල්ලීමක් කළා.

කළුතර බෝධිය කපන්න ගිය අවස්ථාවේ වික්ටෝරියා රැජිණ ඊට විරුද්ධ වුණා.

ඒ නිසා අද මේ පළාතේ සමහර විහාරස්ථාන වල 19 වෙනි සියවසට අයත් බිතු සිතුවම් වල වික්ටෝරියා රැජිණගේ පින්තූර නිර්මාණය කර තිබෙනවා. ඒකට උදාහරණයක් හැටියට කතලුවේ පන්සල පෙන්වා දෙන්න පුළුවනි.

ලංකාවේ විහාර - දේවාලගම් පනත සම්මත කර තිබෙන්නේ බුද්ධාගමට දිය යුතු නිසි තැන ලබාදීම සඳහායි. ඒකෙන් කියන්නේ විහාරවලට අයිති දේවල් විහාරවලට අයිති බවත් දේවාල වලට අයිති දේවල් දේවාල වලට අයිති බවත්ය.

විශේෂයෙන්ම අපේ බැතිමතුන් ලබාදෙන රත්තරන් බඩු සියල්ලම අයිති වෙන්නේ ඒ විහාරයට නැතිනම් ඒ දේවාලයටයි. ඕවට අත තියන්න ගිහින් රටට මොනවා වෙයිද කියා මමනම් දන්නේ නෑ. මේ දේවල් ඉදිරිපත් කළේ සුද්දන්ගේ කාලේයි. ශ්‍රී ලංකාව ඩොමිනියන් රාජ්‍යයක් වුණාම එංගලන්තේ සිංහාසනයේ හිටපු රජතුමා තමයි අපේ ලංකාවේ රජතුමා වෙන්නෙත්. එතුමාද බුදුදහම ආරක්ෂා කරන්න ඕන කියලා පිළිගත්තා.

දෙවැනි එළිසබත් රැජිණිය ලංකාවේ රැජිණිය හැටියට අපි පිළිගත්තා. එතුමිය 1954 ලංකාවට ඇවිල්ලා බුද්ධාගම ආරක්ෂා කරන එක පිළිගෙන එතුමිය ගිහින් දළදා මාළිගාවට මල් පූජා කළා. බෞද්ධ නොවන පාලකයින් පවා මේ දේවල් ඉදිරියට ගෙන ගිහින් තියෙනවා. මේ දේවල් ආරක්ෂා කරන්න බුදු දහමට ප්‍රමුඛතාව ලබාදීම සම්බන්ධ වගන්තිය ව්‍යවස්ථාවට ඇතුල් කළ යුතු බව ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා කිව්වා.ඒ අනුවයි අදාළ කටයුතු වුණේ.

අපි මේ කාරණා එතැනට ඇතුළු කර ජනතා පරමාධිපත්‍ය ජනතාවගේ කැමැත්ත නැතිව ඉවත් කරන්න බැරි බව තහවුරු කළා. එසේ නම් පළවෙනි වන්තිය, දෙවැනි වගන්තිය, තුන්වැනි වගන්තිය, හතරවැනි වගන්ති වල සඳහන් වෙන්නේ ජනමත විචාරණයක් නැතිව ඉවත් කරන්න බැහැ කියලයි.

ඒ නිසා මේ දේවල් වෙනස් කරන්න රජයකට අයිතියක් නැහැ. එය වෙනස් කිරීමේ අයිතිය තිබෙන්නේ රටේ ජනතාවටයි.