(යොහාන් භාසුර)

කතරගම ඇසළ උත්සවයට පැමිණෙන බැතිමතුන්ගෙන් වගකීමෙන් කසළ බැහැර කරන ලෙස ඉල්ලා සිටින බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වගකීමෙන් යුතුව නිසි ලෙස කසළ බැහැර කරන ලෙස ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ උත්සවය සැමරීම සහ වන්දනාමාන කටයුතු සඳහා කතරගමට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙවර රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර මෙම මස 15 වැනිදා දින සිට 29 වැනි දින දක්වා පැවැත්වෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

කතරගම ඇසළ උත්සව සමයට සාමාන්‍යයෙන් බැතිමතුන් ලක්ෂ 25කට අධික පිරිසක් කතරගමට පැමිණෙන අතර එම කාලසීමාවේදී කතරගම පූජා නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආශ්‍රිත ප්‍රදේශවල දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 75ක පමණ ප්‍රමාණයක් එක්රැස් වන බව ද කියන මාධ්‍යම පරිසර අධිකාරිය වසර ගණනාවක සිට සිදුකළ දැනුම්වත් කිරීම් ඇතුළු කසළ කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් එක්රැස්වන කසළ ප්‍රමාණය ක්‍රමිකව අඩුවී ඇති බව ද සඳහන් කරයි.

මෙම තත්වය ද පාලනය කරමින් තවදුරටත් කසළවලින් වන පරිසර දූෂණය අවම කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කතරගම ප්‍රාදේශීය සභාව, කිරිවෙහෙර රජමහා විහාරය සහ පෞද්ගලික ආයතන කතරගම පෙරහැර කමිටුව හා ඒකාබද්ධව වසර ගණනාවක සිට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර මෙවර ද එය ක්‍රියාක්මක කරන බවත් ඒ අනුව, පූජාභූමියට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගවලදී ගමන් මලු පරීක්ෂා කර පොලිතීන් මලු වෙනුවට පරිසර හිතකාමී ආදේශක මලු ලබාදීම, කතරගම පූජා භූමිය වෙත බැතිමතුන් ප්‍රවාහනය කරන බස් රථවල දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වීදි නාට්‍ය ආදී වූ නිර්මාණාත්මක ප්‍රවේශ ඔස්සේ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වැඩසිටි කන්ද ප්‍රදේශය මෙම මස 22 වැනි දින ශ්‍රමදානයකින් පවිත්‍ර කිරීම, ප්ලාස්ටික් බෝතල් එක්රැස් කිරීම සඳහා දැල්ආවරණ කසළ රදවන ස්ථාපිත කර තිබීම සහ කසළ බැහැර කළ හැකි ස්ථාන සකසා තිබීම ඇතුළු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නිවැරදිව කසළ බැහැර කිරීම සඳහා බැතිමතුන් යොමුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සංවිධාන කර ඇති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.