(සුජිත් හේවාජුලිගේ ) 

රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් පුරාවිද්‍යා  සංරක්ෂණ කටයුතුවලටද දැඩි බාධා එල්ලවී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඩොලර් ගැටළුව හේතුවෙන් රසායන ද්‍රව්‍ය  ගෙන්වීමට බාධා මතුව ඇති බවයි.

එසේම විවිධ  ආර්ථික ගැටලු හේතුවෙන් පුරාවිද්‍යා කැණීම් කටයුතු වලටද  බාධා එල්ලවී ඇතැයි  පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පැවසුවේ
රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන  ඩොලර් වෙන්කිරීමට හැකියාව ඇත්තේ අත්‍යවශ්‍යම කටයුතු සඳහා පමණක් බවයි.

මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
විවිධ වාර්තා පිළියෙල කිරීමටද  කඩදාසි ගැටළුව හේතුවෙන් බාධා
මතුව ඇතැයි දැනගන්නට ඇත.

අතිකාල දීමනා ගැටළු හේතුවෙන් සේවකයන් විවිධ කටයුතු සඳහා සක්‍රීයව දායක කර ගැනීමේ ගැටළුද මතුව ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපති මන්දිරයේ විනාශ වූ භාණ්ඩ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන කටයුතුවලටද  සේවක ප්‍රශ්නය හේතුවෙන්  බාධා මතුව ඇතැයි වාර්තා වේ.