(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂවරයා  ඇතුළු එහි සේවකයන්  25 දෙනකුට  කොවිඩ්  ආසාදනයවී ඇතැයි   තහවුරුවී තිබෙන  බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

කොවිඩ්  ආසාදනයවූ පිරිසට පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීහු පස් දෙනෙක්ද ඇතුළත්  වෙති.

කොවිඩ්  ආසාදිත මෙම සේවකයන් නිරෝධායනය සහ හදිසි ප්‍රතිකාර  සඳහා  යොමු කෙරුණු බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පාර්ලිමේන්තු සේවකයෝ  152 දෙනක්  රැපිඩ්  ඇන්ටිජන්  පරීක්ෂණවලට අද (31) යොමු කරනු ලැබූහ. මේ විසි පස් දෙනාට කොවිඩ්  ආසාදනයවී ඇතැයි හඳුනාගනු ලැබ ඇත්තේ  එම පරීක්ෂණවලදීය.

කතානායකවරයා  ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  12 දෙනෙක්ද පාර්ලිමේන්තුවේ  උසස් නිලධාරිනියක්ද කොවිඩ්  රෝගයට පසුගිය දින කිහිපයේදී ගොදුරු වූහ.

කොවිඩ්  රෝගයට  මේ දක්වා ගොදුරුවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව  46කි.

මේ ආසාදිතයන් හමුවීමෙන් පසු පාර්ලිමේන්තුවේ බොහෝ අංශ විසබීජහරණය කිරීමට ඊයේ පියවර ගත් බව එහි නිලධාරීහු පවසති.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සහ නියෝජ්‍ය මහලේකම් , පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානී  රෝහණධීර   මහත්මියගේ උපදෙස් මත වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින්   පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා  විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් ඊයේ ආරම්භ කරනු ලැබීය.

මේ අතර පාර්ලිමේන්තුවේ තවත් රැපිඩ්  ඇන්ටිජන්  පරීක්ෂණ වටයක් ලබන  3 වැනිදා සඳුදා දිනයේද  පැවැත්වීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.