(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පිළිබඳ  නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන්නැයි හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.

එවිට පක්ෂ භේදයකින් තොරව ඒ ගැන විවාද කිරීමට අවස්ථාව ලැබෙන බව කී වික්‍රමසිංහ  මහතා අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස සභානායකතුමාගෙන් ඉල්ලා සිටින අතර රාජ්‍ය මූල්‍ය කොමිටියත් ඒ ගැන අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.

වර්තමානයේ පැන නැගී තිබෙන ප්‍රශ්න වලට වගකිව යුත්තේ මේ ආණ්ඩුව ද ,පසුගිය ආණ්ඩුව ද ඊට පෙර ආණ්ඩුව ද මහසෙන් රජ්ජුරුවොද  කියා දැන්  සොයා බැලීමෙන් පලක් නැති බව කී වික්‍රමසිංහ මහතා සියලුම දෙනාගේ අදහස් සහ යෝජනා ලබාගෙන ඉදිරියට යාමේ යම් එකඟතාවයකට ඒමට හැකි වෙිදැයි කියා සොයා බැලිය යුතු බවද කීය.

මාර්තු පළමු සතියේ අදාළ විවාදය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව  කී හිටපු අග්‍රාමාත්‍යවරයා වර්තමානයේ තිබෙන ප්‍රශ්න වලින් ගොඩ ඒමට විසඳුමක් කවුරුන් හෝ ඉදිරිපත් කළ යුතුව තිබෙන අතර පාර්ලිමේන්තුවේදී ඇතිවන එකඟතාවයන් ගැන කරුණු ජනාධිපතිවරයාට ලබා දෙමු යැයි  යෝජනා කරන බවද කීය.

මෙහිදී අදහස් දැක් වූ සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ මීළඟ පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් දෙන බවයි.