(යොහාන් භාසුර)

ගෑස් සම්බන්ධයෙන් රට තුළ ඇතිවී තිබෙන ගැටලුකාරී තත්වයට ගතහැකි වඩාත් ඉක්මන් පියවර ලෙස ප්‍රමිතියෙන් තොර ගෑස් රට ඇතුල්වීම සහ රට තුළ ඇති ගෑස් කර්මාන්ත ශාලාවෙන් වෙළෙඳපොළට පිටවීම නතර කළ බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද පස්වරුවේ (03) පැවසීය.

ගෑස් සංයුතිය පිළිබඳව ප්‍රමිතියක් කිසිඳු තැනක සඳහන් නොවීම නිසා ප්‍රමිතිය සකස් කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ගෑස් සමාගම් දෙක පසුගියදා ඇති වූ සිද්ධීන් පිළිබඳව වගකීම සම්පූර්ණයෙන්ම බාරගත යුතු වගේම එය නිවැරදි කිරීමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම සමාගම් ලාභ ලැබීමේ අරමුණීන් හිතාමතාම පාරිභෝගිකයා නොමඟ යැවීමට කටයුතු කළ බවට පරීක්‍ෂවලින් අනාවරණය වුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ සමස්ත පවුල් ප්‍රමාණයෙන් සියයට 35 ක් පමණ ගෑස් භාවිතා කිරීම නිසා නිවාස වශයෙන් මෙන්ම වාණීජ වශයෙන් ද ගැටලුකාරී තත්වයක් ඇති බව පිළිගන්නා බවත් අමාත්‍යවරයා කීය.

මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ මහතා ප්‍රමුඛ විද්වත් මණ්ඩලය ලබාදු වාර්තා දෙක සහ රාජ්‍ය ආයතනය කීපයක් ලබාදුන් උපදෙස් අනුව පෙරේදා රාත්‍රී පැවැති විශේෂ සාකච්ඡාවේදී ප්‍රධාන තීරණ තුනකට එළඹි බව කී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව අදාල සමාගම් දෙකේම ගෑස්වල ගන්දනය අති කරන ‘එතිල් මර්කැප්ටන්’ නැමැති ද්‍රව්‍ය සියයට පහේ සිට සියයට 14 දක්වා වැඩි කරන තෙක් ගෑස් සැපයුම අත්හිටුවීමට තීරණය කළ බවත්ය.

ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන ගෑස් නැව්වලට ගොස් නියැදි ලබාගෙන පරීක්‍ෂණ කර ගුණත්වයෙන් තොර නම් නැවත හරවා යැවීමට තීරණය කළ බවත් ඒ අනුව ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකාවට මේ වන විට ළගාවී ඇති ගෑස්  මෙට්‍රාක්ටොන් 3750 ක් ඇති නෞකාවට ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පරීක්‍ෂණ කණ්ඩායමක් ගොස් ලබාගත් සාම්පල හතරේ ප්‍රතිඵල නිකුත් කරන තෙක් ගෑස් ගොඩබෑමට අවසර නොලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වර්තමානයේ පාවිච්චි කරන ගෑස් ගිලින්ඩර සහ ඒ සඳහා භාවිතා කරන උපාංග නියමිත ප්‍රමිතිය ආනයන අපනයන පාලකවරයාගෙන් කැඳවා ඇති බවත් ඉන් පසුව ඒ සඳහා ප්‍රමිති පිළිබඳව කටයුතු කිරීමට ප්‍රමිති ආයතනයට බලය පවරණ බවත් අමාත්‍යවරයා කීය.

ගෑස්ලිප් ආනයනය කරන සමාගම් පිළිබඳව රේගුවෙන් ලබාගත් තොරතුරු අනුව එම සමාගම්වල නිලධාරීන් කැඳවා කළ විමසුමකදී ගෑස් සම්බන්ධ උපකරණවලට ප්‍රමිතියක් නොමැති බව දැනගන්නට ලැබුණු බවත් අදාල සමාගම් දෙකේ අළෙවි නියෝජිතයන් සතුව සහ නිවාසවල තිබෙන ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් විශේෂඥා උපදෙස් මත හැකි ඉක්මණීන් තීරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කොළඹ පිහිටි එම අමාත්‍යංශයේදී අද (03) පස්වරුවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.