(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජයේ ප්‍රතිලාභ දෙන වකුගඩු රෝගීන් සංඛ්‍යාව පනස්දහසේ සිට හැත්තෑ දහස දක්වා ඉහළ නැංවූ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා එසේ කීවේ අංක 2467/03 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 24 දරණ සුභසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය අනුමත කිරීම පිළිබඳ විවාදය අරඹමිනි.

"2023 වසරේ ජූලි මාසයේදී අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ අඩු ආදායම්ලාභී ප්‍රජාවට ලබාදීම ආරම්භ කරනු ලැබුවා.ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ සුබ සාධක ප්‍රතිලාභ ලබාදෙනවා.දුප්පත්, අන්ත දුප්පත්, අවදානමට ලක්වූ සහ සංක්‍රාන්ති ලෙස මෙම සමාජ කණ්ඩායම් හඳුනාගෙන ඔවුන් වෙත සුභසාධක ප්‍රතිලාභ ලබාදීම මෙම යෝජනා ක්‍රමය මගින් ක්‍රියාත්මක කරනවා.මීට ප්‍රතිලාභින් තෝරා ගැනීම සම්බන්ධයෙන් සමාජයේ යම් කතිකාවතක් තිබෙනවා.සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීම සඳහා ප්‍රධාන නිර්ණායක හයකුත් අනු නිර්ණායක විසි දෙකකුත් භාවිත කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.