(ක.ග.කරුණාරත්න)

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10න් 04 ක් අඩිය බැගින් විවෘතකර අතිරික්ත ජලය පිටතට මුදාහැරීමට අද (03)පෙරවරුවේ  පියවර ගත්බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

මේවනවිට පරාක්‍රමසමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි එක් ලක්‍ෂ දසදහසකට ආසන්නව පවතින බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එල්.එම්.ඩබ්ලිව් රත්නසිරි මහතා ප්‍රකාශ කළේය.

දැනට විවෘතකර ඇති වාන් දොරටු මගින් තප්පරයකට ඝන අඩි 500ක පමණ ජලය ප්‍රමාණයක් පිටතට ගලායන බවද ඒ මහතා කීය.

එම පිටාර ජලය අඹන්ගඟ ඔස්සේ ගලාගෙන ගොස් මනම්පිටිය ප්‍රදේශයෙන් මහවැලි ගඟට එක්වේ.

වර්ෂාව තවදුරටත් නොකඩවා පැවැතුණහොත් තවත් වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමට බලාපොරොත්තුවන බවද කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා පැවැසීය.