(සුජිත් හේවාජුලිගේ )

මධ්‍යම සංස්කෘතික අරමුදල ආගමික ස්ථාන ගණනාවකට 2018 වර්ෂයේදී ලබාදී තිබු රුපියල් කෝටි 48 කට ආසන්න මුදලක් අවභාවිතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

එම අරමුදල මෙම මුදල් ලබාදී තිබුණේ එහි සසුනෝදය වැඩසටහන යටතේය.

එම ආගමික ස්ථාන ඒ මූල්‍යාධාර භාවිතා කර සංවර්ධන කටයුතු නිසි පරිදි කර නොතිබූ බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල එම මුදල් සම්බන්ධයෙන් පසුවිපරමක් පවා කර නැති බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදල මුදල් ගෙවීමේදී එම ගෙවීමට අදාල ආදායකයාගේ අනන්‍යතාවය තහවුරු කරගත යුතු වුවත් ආගම නංවාලීම සහ ආගමික ස්ථාන හා ආගමික වත්පිළිවෙත් පවත්වාගෙන යෑම සඳහා ආධාර ලබා දීමේදී ඉහත සඳහන් විධිවිධානයන් අනුගමනය නොකර 2019 වර්ෂයේ දී අවස්ථා 63 ක දි රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලකට අදාල චෙක්පත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යමණ්ඩලයේ නිලධාරීන් හා සේවකයන්ට ලබාදීමට අරමුදල කටයුතු කර තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන් වී ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේය.