(අංජුල මහික වීරරත්න)

පානීය ජල ගැටලුව විසඳීමට 2027 වසරේ අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ අද (08) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ නැවත පදිංචි කිරිමේ අංශය ඇතුළු අමාත්‍යාංශ විෂය පථයට අයත් සියලු දෙපාර්තමේන්තු සහ ආයතන විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතින්හි ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් සහ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳව මෙහිදී වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කෙරිණි. 

විවිධ අමාත්‍යාංශ යටතේ එකම විෂයයට අදාළව ආයතන ගණනාවක් පැවතීම හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අකාර්යක්ෂමතාවක් ඇති වී තිබෙන බවත්, වසර ගණනාවකට පෙර විවිධ අරමුණු සහ අවශ්‍යතා මත පිහිටුවන ලද ආයතන තවදුරටත් පවත්වාගෙන යාමෙන් රජයට අමතර වැය බරක් දැරීමට සිදුව තිබෙන බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඵලදායීතාවෙන් තොර සියලු ආයතන බැහැර කිරීමට කටයුතු කරන ලෙසද උපදෙස් දුන්නේය.