(අංජුල මහික වීරරත්න)

පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ විවෘත කිරීම අද  (08) පෙරවරුවේ සිදු විය. 

රුපියල් මිලියන 424ක  පිරිවැයකින්, "ක්ලීන් ශ්‍රී ලංකා" සංකල්පය යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කොළඹ මහනගර සභාව ඇතුළු ආයතන රැසක සහයෝගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් මෙම අලුත් වැඩියාව සිදු කෙරිණි.

දිනකට 75,000ක් පමණ වන මගී ජනතාව සහ බස් රථ 2,000කට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් නවීන පහසුකම් රැසක්, නවීකරණය කරන ලද මෙම බස් පර්යන්තයේ ස්ථාපිත කර තිබේ. 

මෙහි බිම් මහල බස් රථ මෙහෙයුම් සඳහා වෙන් කර ඇති අතර, පළමු මහලේ රියදුරු සහ කොන්දොස්තර මහතුන් වෙනුවෙන් වායු සමනය කළ නවාතැන් පහසුකම් සලසා ඇත.  දෙවන මහල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්යාලය සහ නවීන ශ්‍රවණාගාරයකින් සමන්විතය.

තවද මෙහි පළමු මහල අලෙවිසැල් සහ නවීන සනීපාරක්ෂක පහසුකම්වලින්ද , දෙවන මහල පාසල් සිසු දරුවන් වෙනුවෙන් වෙන් කළ නවාතැන් පහසුකම්වලින්ද සමන්විත වේ.

සමස්ත පරිශ්‍රයම CCTV කැමරා පද්ධතියකින් ආවරණය කර ඇති අතර, ඩිජිටල් තිර සහ නවීන තොරතුරු මධ්‍යස්ථානයක් ඔස්සේ මගීන්ට අවශ්‍ය තොරතුරු ක්ෂණිකව නිකුත් කිරීම සිදු කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ  මිලියන, බිලියන ව්‍යාපෘති අතරින් පිටකොටුව බස් නැවතුම්පොළ නවීකරණ කිරීම තරම් මහජන උනන්දුවක් ඇති වූ වෙනත් ව්‍යාපෘතියක් නොවන බවයි. 

මහජන මුදලින් නවීකරණය කෙරුණු මෙම පර්යන්තය එම ප්‍රමිතියෙන්ම පවත්වාගෙන යාම මීළඟ අභියෝගය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා ජනතාව සිය වගකීම ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත්, අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි වසරක කාලයක්  රැක බලා ගැනීම වෙනුවෙන් සහාය ලබා දීමට ආරක්ෂක ලේකම්වරයා එකඟතාව පළ කර තිබෙන බවත් පැවසීය. 

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ  නවීන පහසුකම්වලින් සමන්විතව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම වෙනුවෙන් මධ්‍යම බස් නැවතුම්පොළෙහි පහසුකම් ඉහළ නංවා ඇති බවයි. 

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වී.බී. එදිරිසිංහ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ජී. හේමචන්ද්‍ර යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරිහු, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නියෝජිතයන්, ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.