(මොහොමඩ් ආසික්)

අලවතුගොඩ නගරයේ ඡායාරූප ශාලාවක කාමරක් තුල රුපියල් පන් දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වටලා ව්‍යාජ 5000 මුදල් නෝට්ටු 43ක් සහ ඒවා මුද්‍රණය කිරිම සඳහා භාවිතා කළ පරිගණක උපකරණ ඇතුළු උපකරණ පොලිස් භාරයට  ගත් බව පොලීසිය කියයි.

පසුගිය උත්සව සමයේ භාණ්ඩ මිළ දී ගෙන රුපියල් 5000 නෝට්ටු මාරු කරමින් යන පුද්ගලයකු පිළිබඳව පොලීසියට ලැබුණු තොරතුරක් මත එම පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටුවක් හමු වී ඇති අතර පසුව කළ ප්‍රශ්න කිරිම් හමුවේ මෙම සැකකරු රුපියල් පන් දහසේ නෝට්ටු මාරු කරන තැරැව්කරුවකු බව හෙළිවී ඇති අතර ඔහු සතුව තිබූ තවත් රුපියල් පන්දහසේ නොට්ටු 40 ක් තිබී ඇති අතර පොලීසිය දැක ඒවා වැසිකිලි වලට දමා තිබේ. පසුව ඒවා ගොඩ ගෙන බැලීමේදී ඒවායේ තීන්ත බොඳ වී තිබූ බවත් පොලීසිය කියයි.

මෙම ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු පරිගණකය භාවිතා කරමින් මුද්‍රණය කළ බව කියන පුද්ගලයා සහ එම ව්‍යාජ නෝට්ටු සැබෑ මුදල් බවට පත් කරමින් සිටි බව කියන තැරැව්කරුද පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා 20 වනදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.