(විමුක්ති එස් රුද්‍රිගු)

නේපාලයේ ඇතිවූ හදිසි ගංවතුර තත්වයෙන් සංචාරකයන් 644ක් අතුරුදන් වී ඇති බවත් එම සංචාරකයන් පිරිසට ශ්‍රී ලාංකික සංචාරකයින් අයත් නොවන බවත් නේපාල සංචාරක මණ්ඩලයේ දත්ත වාර්තා උපුටා දක්වමින් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කළේය.

එම සංචාරකයන් 644 දෙනා සම්බන්ධ කර ගැනීමට නේපාල සංචාරක මණ්ඩලයට නොහැකි වී ඇති බැවින් ඔවුන් අතුරුදන් ලෙස නම්කර තිබෙන බවද එම නිවේදනයේ දැක්වේ.

එරටට පැමිණ සිටින සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නේපාල සංචාරක මණ්ඩලය ප්‍රමුඛතාව ලබාදෙන බවද විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.

ශ්‍රී ලාංකිකයන් 83 ක් නේපාලයේ සිටින බවත් ඔවුන්ට අනතුරක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බවත් එහි සඳහන් වේ.

ශ්‍රී ලාංකිකයන් 23ක් නේපාලයේ අධ්‍යාපනය ලබන බවත් තවත් 28ක් එරට රැකියා කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එසේම තවත් ශ්‍රී ලාංකිකයින් 5 එරට වැසියන් සමග විවාහ වී ඇති බවත් තවත් 27ක් වෙනත් කාර්යයන් සඳහා එහි ගොස් ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සහාය හෝ තොරතුරු අවශ්‍ය නම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ 070-7887778 දුරකතන අංකය අමතා සහාය ලබාගත හැක.

එසේම නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංකයක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විවෘත කර තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.

එසේම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය තානාපති කාර්යාලය සමග සමීපව සම්බන්ධීකරණය කරන බව එම නිවේදනයේ දැක්වේ.

නේපාල - ටිබෙට් හිමාලයානු සීමාවේ හිමකන්දක් නායයාමෙන් ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් ටිබෙටයේ සහ නේපාලයේ පුද්ගලයන් 332 ක් මියගොස් තවත් 1300 කට ආසන්න පිරිසක් අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නේපාලයේ පමණක් 826 ක් අතුරුදන් වී ඇති බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි.

නේපාල - ටිබෙට් හිමාලයානු සීමාවේ හිමකන්දක් නායයාමෙන් හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිවූ අතර ඒ හේතුවෙන් දේශ සීමාවේ දෙපස තිබූ ගම්මාන බොහොමයකට හානි සිදුවිය. හිමාලයානු කලාපයේ සිදු වූ දැවැන්ත හිම, පස් සහ පාෂාණ කඩාවැටීමත් සමඟ භෝටේ කෝෂි (Bhote Koshi) සහ ත්‍රිශූලි (Trishuli) ගංගා පද්ධතිවල ජල මට්ටම මිනිත්තු 30 ක් ඇතුළත අඩි 30 කින් පමණ ඉහළ යාම මෙම ඛේදවාචකයට හේතු වූවේය.