(යොහාන් භාසුර)

ලෝක ප්‍රසිද්ධ ත්‍රාසජනක ක්‍රීඩාවක් වන බංජි ජම්ප්’ ක්‍රීඩාව ලබන වසරේ ජනවාරි මස සිට ‘නෙළුම් කුලුනේ’ ප්‍රදර්ශනයට කිරීමට නෙළුම් කුලුන කළමනාකරණ සමාගම සහ ‘බංජි’ සමාගම අද (7) ගිවිසුමට අස්සන් තැබීය.

මෙම ත්‍රාසජනක ක්‍රීඩාවේදී ඔවුන් මීටර 350 ක පමණ ඉහළ සිට පහළට පනින අතර එය විදේශිකයන් වඩාත් ප්‍රිය කරන ක්‍රීඩාවකි.

නෙළුම් කුලුන කළමනාකරණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ ‘බංජි’ සමාගම සතු වන සාමාජිකයන් 50,000 ක පමණ කණ්ඩායම ශ්‍රී ලංකාවට ගෙන්වීමට එම සමාගම බලාපොරොත්තු වන බවත් මෙම ව්‍යාපෘතිය රටට සංචාරකයන් ගෙන්වා ගැනීමට හොඳ අවස්ථාවක් බවත්ය.

ජනවාරි මස 1 වැනිදා සිට දිනකට පැනුම් වාර 100 ක් පමණ ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර ඇති බව කී සමරසිංහ මහතා ඉන් පැනුම් 40 ක් පමණ රාත්‍රී කාලයේ විදුලි ආලෝකය මධ්‍යයේ කිරීමට ද එම සමාගම බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.