අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් නවසීලන්ත රජය එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.  

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය මාධ්‍යවලින් කුඩා දරුවන් සහ නව යොවුන් දරුවන් ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

මේ වනවිට රටවල් බොහොමයක අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ නව නීති හඳුන්වා දී තිබේ. එම රටවල් අතරේ, නවසීලන්තයේ අසල්වැසියා යන ඔස්ට්‍රේලියාව සිටී.

මීට අමතරව‍ කැනඩාවත් යුරෝපා කලාපයේ ප්‍රබලයන් වන බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයත් අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නව නීති ගෙන ඒමට සූදානමින් සිටී.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ, නවසීලන්තයේ බාල පරම්පරාවට සිදුවන හානිය තවදුරටත් උපේක්ෂාවෙන් බලා සිටිය නොහැකි බැවින්, තමන් සහ තමන්ගේ රජය මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවය.

අවුරුදු 13 ත් 17 ත් අතර දරුවන්ගෙන් තුනෙන් එකක්, දිනකට පැය පහකට වඩා වැඩි කාලයක් සමාජ මාධ්‍ය සඳහා ගත කරන බවත්, එමගින් ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට, අධ්‍යාපනයට සහ නින්දට

දැඩි බලපෑමක් එල්ල වන බවත් අගමැතිවරයා මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් පැහැදිලි කළේය.

මෙම පනත් කෙටුම්පත සම්මත වී, ඊට අදාළ නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන 'මෙටා' වැනි සමාගම්වලට ඔවුන්ගේ ගෝලීය ආදායමෙන් සියයට 10 ක් දක්වා දැවැන්ත දඩ මුදල් පැනවීමට යෝජිත පනතින් ප්‍රතිපාදන සලසා ඇත. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වොට්ස්ඇප් අයත් වන්නේ, මාර්ක් සකර්බර්ගේ 'මෙටා' සමාගමටය.

මෙම පනත් කෙටුම්පතට අනුව ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්, ස්නැප්චැට්  සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය සමාගම් විසින් පරිශීලකයන්ගේ අවුරුදු 16 ට වැඩිදැයි තහවුරු කරගැනීමට පියවර ගත යුතුය. ඒ සඳහා ඩිජිටල් හැඳුනුම්පත්, මුහුණේ ස්වරූපයෙන් වයස තක්සේරු කිරීමේ තාක්ෂණය හෝ නිල හැඳුනුම්පත් භාවිත කළ හැකිය.

නවසීලන්ත අධ්‍යාපන අමාත්‍ය එරිකා ස්ටැන්ෆෝර්ඩ් සඳහන් කර ඇත්තේ, මෙම නීතිමය වගකීම් සමාජ මාධ්‍ය සමාගම් මත පමණක් පටවන අතර දරුවන්ට හෝ ඔවුන්ගේ දෙමාපියන්ට කිසිදු දඩයක් අය නොකරන බවය.

කෙසේ නමුත් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වේද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවක් පවතී. නවසීලන්තයේ ඇත්තේ හවුල් රජයකි. පාලක පක්ෂය සමග එක් වී සිටින හවුල්කාර පක්ෂ මෙම පනත් කෙටුම්පතට විරෝධය පළ කර තිබේ.

අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් නියෝජනය කරන්නේ නවසීලන්ත ජාතික පක්ෂයයි. ලක්සන් සන්ධාන රජයක් පිහිටුවා ඇත්තේ 'ඒසීටී' සහ 'නිව්සීලන්ඩ් ෆර්ස්ට්' යන පක්ෂ හවුල් කර ගනිමිනි.

නවසීලන්තයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය ද වයස තහවුරු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් යොමු කරමින් පාර්ලිමේන්තුවට පෙන්වා දී ඇත්තේ, ළමා ආරක්ෂාව වෙනුවෙන් මෙම නව පනත් කෙටුම්පතට අදාළ නීති ඉතා සංවේදී ලෙස අධ්‍යයනය කළ යුතු බවය.