දූෂණ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම, පාකිස්තාන විපක්ෂ නායකයා ද වන ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් විශේෂ ලිපියක් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඉම්රාන් ඛාන්, තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය පිහිටුවමින්, දේශපාලනයට පිවිසීමට පෙර සුපිරි ක්‍රිකට් තරුවකි. පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවූ අසහාය නායකයකු ලෙස ඔහු ජනතා ආදරය දිනා සිටී. ඉම්රාන් සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රමාත්‍ය ෂරීෆ්ට ලිපිය එවා ඇත්තේ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් 21 දෙනකු මැදිහත් වෙමිනි.

ක්‍රිකට් ක්‍රීඩකයන්, එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ, පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන්, ඉම්රාන් ඛාන් ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත්, මානුෂීය අන්දමින් ඔහු ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසත්ය. ඉම්රාන්ගේ නායකත්යට යටතේ පාකිස්තානය ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ 1992 වසරේදීය.

ඉම්රාන්ගේ පවුලේ සාමාජිකයන්ගේත්, ඔහුගේ පක්ෂ සාමාජිකයන්ගේත් ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, ශ්‍රේෂ්ඨාධිකරණ පසුගිය දා නියෝග කළේ ඉම්රාන් පෞද්ගලික රෝහලකට යවා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත්, මීළග නඩු දිනය වනතුරු ඔහු එම රෝහලේ තබන ලෙසත්ය. 

එසේ වුවත් බලධාරීහු, එක් දිනක් පමණක් ඉම්රාන් පෞද්ගලික රෝහලක රඳවා, යළි රාවුල්පිණ්ඩි බන්ධනාගාරයට රැගෙන යෑම සිදු කළහ.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් ඉම්රාන්ගේ සෞඛ්‍ය පරීක්ෂණ නිසි ලෙස සිදු නොකිරීම සහ ඔහු කඩිනමින් යළි බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් හිටපු නායකයෝ බලවත් කණගාටුව පළ කර ඇති බව ඔවුන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් වෙයි.