(සුජිත් හේවාජුලිගේ )

පොහොර, බීජ ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය නිසි වෙලාවට නොලැබුණහොත් එලවලු වගාව  තවදුරටත්  අඩපණවීමෙන් ලබන අප්‍රේල් මැයි වනවිට රටේ මෙයට වඩා දැවැන්ත එළවළු හිඟයක් ඇතිවනු ඇතැයි නුවරඑළිය සහ ඒ අවට ප්‍රදේශවල  මහ පරිමාණ හා සුළු පරිමාණ   එළවළු ගොවීහු  පවසති.

නුවරඑළියේ දැනට පවතින්නේ මාසයකට ප්‍රමාණවත් එළවළු තොගයක් පමණක් බවද  ඔවුහු සඳහන් කරති.

නුවරඑළියේ එළවළු වගාවට අවශ්‍ය පොහොරවලින් දැනට ලැබී ඇත්තේ සියයට  10ක පමණ ප්‍රමාණයක් පමණක් බව පැවසූ එම  එළවළු ගොවීහු  පවතින ප්‍රශ්න හමුවේ එළවළු  ගොවීන්ගෙන් සියයට තිහක් පමණ  දැනටමත් ගොවිතැනින් ඉවත්වී ඇතැයිද   ප්‍රකාශ කරති.

නුවරඑළියේ එළවළු වගාකරන ගොවීන් සංඛ්‍යාව 40,000ක් පමණ වන බව නුවරඑළිය  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ  සීමාසහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ සාමාන්‍යයෙන් උත්සව කාලවලදී දිනකට  එළවළු කිලෝ හාරලක්ෂ පනස් දහසක් පමණ නුවරඑළියෙන් පිටතට යන නමුත් මෙවර උත්සව සමයේදී  පිටව ගියේ එළවළු කිලෝ අසූ දහසක් පමණක් බවයි.

සාමාන්‍ය දිනයක එළවළු  කිලෝ දෙලක්ෂ පනස්දහසක් පමණ නුවරඑළියෙන් පිටතට ගිය නමුත් මේ දිනවල පිටතට යන්නේ එළවළු කිලෝ පනස් දහසක් පමණක් බවද හෙතෙම සඳහන් කළේය.

රටපුරා ආර්ථික  මධ්‍යස්ථාන වලින් එළවළු සඳහා කෙරෙන ඉල්ලීම් සියයට   50  කින් පමණ අඩු වී ඇතැයි පවසන  අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අධික මිල හමුවේ පාරිභෝගික ජනතාව එළවලු මිලදී ගැනීම  සැලකිය යුතු ලෙස අඩුවීම නිසා මේ තත්වය ඇතිවී තිබෙන බවද පැවසුවේය.

රුපියල් 1600ක් ලෙස පැවති පොහොර මිටිය මේ වනවිට රුපියල් 9500ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් බීජ වර්ග සහ භූමි තෙල් මිල ඉහළයෑමද එළවළු මිල වැඩි වීමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් අප නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ  මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එළවළු සහ අල සඳහා පොහොර  සැලකිය යුතු  ප්‍රමාණයක් දැනට ලැබී ඇති බවයි.

නුවරඑළියට එකදිගට මාස තුනක් වැසි වැටීමද එළවළු ඵලදාව අඩු වීමට ප්‍රධාන හේතුවක් වුණු බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා ඉදිරි කාලයේදී එළවලු මිල පහත බසිනු ඇතැයි  විශ්වාසය පළ කළේය.