(යොහාන් භාසුර)

තැපැල් දෙපාර්තමේන්තුව තුළ තැපැල් ස්ථානාධිපතිවරු ඇතුළු තැපැල් සේවා නිලධාරීන් 1600 ක හිඟයක් පැවතීමෙන් තැපැල් සේවාව පවත්වාගෙන යෑම ගැටලුවක් බවට පත්ව ඇතැයි එම දෙපාර්තමේන්තුවේ සේවකයෝ පවසති.

තැපැල් දෙපාර්තමේන්තුව තුළ සමස්ත කාර්ය මණ්ඩලය 6000 කට ආසන්නව සිටිය යුතු වුවද වර්තමානයේ එම සංඛ්‍යාව 4000 ක් පමණ වන බව කියන තැපැල් සේවකයෝ 2018 වසරේ සිට සේවකයන් බඳවාගැනීමට අනුමැතිය ඉල්ල්ව ද අනුමැතිය නොලැබීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව ද සඳහන් කරති.

නිලධාරීන් 287 ක් අභ්‍යන්තරව බඳවාගැනීම සඳහා විභාගයක් පවත්වා ඇති අතර ඊට අමතරව නිලධාරීන් 695 ක් බඳවා ගැනීමට තීරණය කර තිබුණ ද මේ දක්වා අයදුම්පත් හෝ කැඳවා නොමැති බව පවසන තැපැල් සේවකයන් සඳහන් කරන්නේ හිඟයට තාවකාලික පිළියමක් ලෙස තැපැල් විශ්‍රාමික නිලධාරීන් 500 ක් කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීමට යෝජනා කළ ද එය හෝ ක්‍රියාත්මක නොවූ බවත්ය.

කොළඹ නගර සීමාවේ පිහිටි බොරැල්ල තැපැල් කාර්යාලයේ සේවකයන් 35 ක් සිටිය යුතු වුවද වර්තමානයේ සේවකයන් 7 කින් කටයුතු පවත්වාගෙන යන බවත් බොහෝ තැපැල් කාර්යාලවල සේවකයන්ට අත්‍යවශ්‍ය කාර්යයකට හෝ නිවාඩුවක් ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් සේවකයෝ කියති.

ඇතැම් තැපැල් කාර්යාලවල නිලධාරිනියක් ප්‍රසූත නිවාඩු ලබාගත් විට එම කාර්යාලය වසා දැමීමට සිදුවන තත්වයක් තිබෙන බවත් ඇතැමුන්ට ආහාර ගැනීමට හෝ විවේකයක් නොමැති යැයි සේවකයෝ කියති.  

මෙම වසර තුළ රුපියල් බිලියන 9 ක් හෙවත් රුපියල් කෝටි 900 ක ආදායමක් ඉපයිය යුතු යැයි තැපැල් බලධාරීන් ඉලක්කයක් ලබාදී තිබුණ ද සේවක හිඟය හේතුවෙන් එම ඉලක්කය සේවයේ සිටින නිලධාරීන්ට පීඩනයක් බවට පත්ව ඇති බවත් තැපැල් සේවකයෝ චෝදනා කරති.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ නිලධාරීන්ගේ හිඟ පිළිබඳව බලධාරීන් දැනුවත් කළ ද මේ දක්වා විසඳුමක් ලැබී නොමැති බවත් නිලධාරී හිඟය හේතුවෙන් ඉදිරිය්දී ඇතැම් තැපැල් කාර්යාල වැසීයෑමේ අවදානමක් ද පවතින බවයි.