(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කෑගල්ල දැරණියගල නූරිවතුයායේදී ඉකුත් දා අභිරහස් ලෙස මියගිය 14 හැවිරිදි පිරිමි දරුවාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා එම දේහය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ප්‍රමෝද් ජයසේකර මහතා ඉදිරියේ අද  ගොඩ ගත් බව නූරිය පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නූරී වතුයායේ පදිංචි චන්ද්‍ර කුමාර් රංජිත් කුමාර නමැති (14) හැවිරිදි දරුවකු බව පොලිසිය කියයි.

මෙම පිරිමි දරුවා ඉකුත් ජනවාරි 02 දා සිය මව සහ පියා සමග නිවසේ සිටියදී අභිරහස් ලෙස මියගොස් තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් නූරි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී ඇති වූ දැඩි සැකය මත එම දරුවාගේ මව සහ පියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට කුරුවිට බන්ධනාගාරයේ පසුවන බව පැවසේ.

මේ අතර දරුවාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සත්‍යය අනාවරණය කරන ලෙසට බල කරමින් නූරිවත්තේ ජනතාව සහ ඥාතීන් ඉකුත් 06 දා එම වතුයායේදී විරෝධතාවයක් පවත්වා තිබූණි.