(අංජුල මහික වීරරත්න)

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1897 අංක 3 දරන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත, බෝ වන රෝග පැතිරීම වැළැක්වීම සහ නිරෝධායන පියවර ක්‍රියාත්මක කිරීම පාලනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නීතිය වේ. එහෙත්, වර්තමානය වන විට පුද්ගලයන්ගේ, භාණ්ඩ වල හා සේවාවල ජාත්‍යන්තර සහ දේශීය සංචලනයේ සැලකිය යුතු වැඩි වීම හේතුවෙන් දේශ සීමා හරහා බෝවන රෝග සම්ප්‍රේෂණය වීමේ අවදානම් ද සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බවත්, නිතර සිදුවන ජාත්‍යන්තර සංචාර සහ ජාත්‍යන්තර වෙළෙඳාම හේතුවෙන් බෝවන රෝග රටවල් අතර වේගයෙන් පැතිරී යාම සිදු වන බවත් නිරීක්ෂණය කර ඇත.

ඒ අනුව, 1897 අංක 3 දරන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා 2016 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති නමුත්, එකී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නොමැත. එබැවින්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව, පසුගිය කාලසීමාව තුළ ඇති වූ වසංගත තත්ත්වයන් අතරතුර ලබා ගත් අත්දැකීම් ද සැලකිල්ලට ගෙන, මේ වන විට සකස් කරනු ලැබ ඇති සංශෝධන පනත් කෙටුම්පත අධ්‍යයනය කරමින් වර්තමාන සෞඛ්‍ය අභියෝග වලට මෙන්ම අනාගතයේ ඇති විය හැකි අභියෝග වලට මුහුණ දීමට හැකි වන පරිදි යෝග්‍ය සංශෝධන යෝජනා කිරීම පිණිස සමාලෝචන කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.