(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)

ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකර ඇති ජාතික වීරවරයින්ගේ ප්‍රතිමාවන්ට පුෂ්පෝපහාර දැක්වීමට එම කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (4) පෙරවරුවේ සිදුකෙරිණි.

ඒ අනුව එම කාර්යාල භූමියේ ඉදිකර ඇති නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක, හිටපු අග්‍රාමාත්‍යවරුන් වන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, හිටපු අමාත්‍යවරුන් වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර, සෞම්‍යමූර්ති ‍තොණ්ඩමන්, නිදහස් සටනේ නියමුවන් වූ ශ්‍රීමත් ඩී.බී ජයතිලක, පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුනාචලම්, ඩබ්ලිව්.ඒ ද සිල්වා යන මහත්වරුන්ගේ පිළිරූ වෙත පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී සිදුවිය.

ජනාධිපති කාර්යාලය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව මෙය සංවිධාන කර තිබිණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සිසිර හේනාධීර, ස්වදේශ කටයුතු  අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්  චේතිය වීරසූරිය යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  නිදහස් දින සැමරුමට සමගාමීව මෙතෙක් පුෂ්පෝපහාර දැක්වූයේ කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි දිවංගත අග්‍රාමාත්‍ය, මහාමාන්‍ය ඩී.එස් සේනානායක පිළිරුවට පමණක් වුවත් මෙවර නිදහස් දිනයේදී මෙරටට නිදහස දිනාදීමට කටයුතු කළ තවත් විරුවන් ද සිහිකිරීමට මෙලෙස පියවර ගෙන තිබිණි.