ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර්ට සිය කම්කරු පක්ෂය අභ්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මේ වනවිට පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කම්කරු පක්ෂයයි. පක්ෂය අභ්‍යන්තරයෙන් ස්ටාර්මර්ට විරෝධයක් එල්ල වී ඇත්තේ, ඉකුත් දා පැවැති පළාත් පාලන මැතිවරණවලින්, කම්කරු පක්ෂය පරාජය වීමත් සමගය. 

කම්කරු පක්ෂයේ ප්‍රබලයන බොහෝ දෙනකු දිගින් දිගටම බලකර ඇත්තේ, ස්ටාර්මර් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී වෙන සුදුස්සකු ඊට පත් විය යුතු බවය. පක්ෂ නායකත්වයෙන් ඉවත් වීම යනු අග්‍රාමාත්‍ය ධුරය ද අහිමිවීමකි.

ඉකුත් සඳුදා (11) දිනයේ, ලැබූ ස්ටාර්මර් මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී පළාත් මැතිවරණය පරාජය වීම සම්බන්ධයෙන් ඔහු පැහැදිලි කිරීමක් කළේය. පරාජයේ වගකීම තමන් බාර ගන්නා බව ද හෙතෙම පැවැසීය. 

ඊට අමතරව, ඇමෙරිකා ඉරාන යුද්ධයේ දී බ්‍රිතාන්‍යය ඊට සහභාගී කර නොගැනීමට තමන් ගත් තීරණය නිවැරදි යැයි පෙන්වා දුන්නේය. සංක්‍රමණ පාලනය, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලැබූ ප්‍රගතිය ගැන ද ස්ටාර්මර් මෙම මාධ්‍ය හමුවේ දී ස්ටාර්මර් වැඩිදුරටත් පැහැදිලි කළේය.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම කරුණු පැහැදිලි කිරීම් ‘ප්‍රමාද වැඩි’ යැයි පවසමින් කම්කරු පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරියක වන කැතරින් වෙස්ට්, නව නායකයකු පත් කරගැනීමේ ක්‍රියාවලිය වහාම ආරම්භ කළ යුතු බව පැවැසුවාය.
කම්කරු පක්ෂ මන්ත්‍රීවරුන් 30කට අධික පිරිසක් මේ වන විටත් අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස හෝ ඉවත්වන දිනයක් ප්‍රකාශ කරන ලෙස දන්වා ඇත. 

විශේෂයෙන්ම එංගලන්තයේ මන්ත්‍රී ධුර 1,400 කට අධික සංඛ්‍යාවක් කම්කරු පක්ෂයට අහිමි වීමත්, එම ඡන්ද ප්‍රතිසංස්කරණ (රිෆෝම්) පක්ෂයට සහ හරිත (ග්‍රීන්) පක්ෂවලට හිමිවීමත් මුල්කොට ගනිමින් මේ වනවිට පාලක කම්කරු පක්ෂය අභ්‍යන්තරයේ කැලඹීමක් ඇති කිරීමට හේතු වී ඇත.