(අංජුල මහික වීරරත්න)

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන්නට කොළඹ ගංගාරාමයට එන සැදැහැවතුන් හෙට (10) රාත්‍රී 10ට පෙර පෝලිමට එකතු වන්නැයි ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ඉල්ලීමක් කළහ.

ධාතූන් වහන්සේ බදාදා  (11) උදෑසන 6ට නැවත ඉන්දියාව බලා වැඩම කරවීමට නියමිත බැවින් මෙම ඉල්ලීම කරන බවද අස්සජි හිමියෝ කීහ.

හෙට රාත්‍රී 10ට සර්වඥ ධාතු වන්දනා පෝලිමට සැදැහැවතුන් අලුතින් එකතුවීම නතර කරන බව කී අස්සජි හිමියෝ රාත්‍රී 10ට  පෙර පෝලිමට එකතු වන සැමට ධාතූන් වහන්සේලා වැඳ පුදා ගන්නට අවස්ථාව ලැබෙන බව සඳහන් කළහ.

වැඩි වැඩියෙන් ජනතාව ඒකරාශී වීම මෙන්ම ඒ අයට ධාතූන් වහන්සේ වන්දනා කර ගැනීමට ඉඩ සැලසීම කෙරුනත් කාට හෝ ධාතු වන්දනාවට අවස්ථාව දෙන්නට නොහැකි වුවහොත් එය හොඳ දෙයක් නොවේ යැයි ද අස්සජි හිමියෝ පැවසූහ.

ඉකුත් සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා,සඳුදා  රාත්‍රීන් වල දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් විශාල පිරිසක් කොළඹට ඒකරාශී වී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගත් බව කී අස්සජි හිමියෝ හැකි උපරිමයෙන් ඒ සැදැහැවතුන් වෙනුවෙන් පහසුකම් සැපයු බව කීහ.

ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යංශය සහ අනෙකුත් ආයතන බොහොමයක් ඒ පහසුකම් සැපයීමේ කාර්යයන්හි නියැලුන බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සැදැහැවතුන් සඳහා ආහාර පානාදිය සපයා දෙමින් ඒ අයගේ ආහාර සුව පහසුව ගැන සොයා බැලු බවත් අස්සජි හිමියෝ පැවසූහ.

මේ තරම් විශාල ජනකායක් කොළඹට ඒකරාශී කර ධාතූන් වහන්සේලා වන්දනා කිරීමේ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය විසින් විශාල මෙහෙවරක් කළේ යැයි ද  ඒ අයත් මේ පින්කමේ කොටස්කරුවන් බව කිව යුතු යැයි ද අස්සජි හිමියෝ සඳහන් කළහ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ධාතූන් වහන්සේ මෙරටට වැඩම කෙරුනේ ඉකුත් 4 වැනිදාය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා  උපන්  ගම් ප්‍රදේශය වන ගුජරාට්හි අරවල්ලි දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික දෙව්නි මෝරි පුරාවිද්‍යාත්මක ස්ථානයේ 60 දශකයේදී බෞද්ධ ආරාම සංකීර්ණයක ස්තූපයක් ආශ්‍රිතව සිදුකරන ලද  පුරාවිද්‍යාත්මක කැණීමකින් මෙම ධාතුන් වහන්සේ සොයා ගන්නා ලදී. මෙම ස්ථානයෙන් ධාතු කරඬු දෙකක් හමු වූ අතර, ඉන් එක් ධාතු කරඩුවක තිබි මෙම සර්වඥ ධාතුන් වහන්සේ හමු වී තිබේ. එහි තිබී හමු වූ මංජුසාවේ සටහන් ‘දස බලධාරී බුදුන් වහන්සේගේ ධාතු නිධන් කළ ස්ථානය’ යන වැකිය මෙම ධාතුන් වහන්සේගේ පූජනීයත්වය තහවුරු කරන ප්‍රබලතම සාක්ෂිය වේ.

ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ මෙම සර්වඥධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කළ පළමු අවස්ථාව මෙයයි.

ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කළදා සිට දිවයිනේ නන් දෙසින් අති විශාල ජනකායක් ගංගාරාමයට පැමිණෙමින් සිටිති.