
(රෝෂන් තුෂාර)
දිට්වා සුළි කුණාටුවෙන් හානි වු නිවාස වෙනුවෙන් රජය ලබා දෙන රුපියල් ලක්ෂ 50 වන්දි මුදලින් රුපියල් ලක්ෂයක සහ රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ඉල්ලා ලබා ගත්තේ යැයි කියන මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරි, මොනරාගල සිත්තම්පරම් ග්‍රාම සේවා නිලධාරී හා සිවිල් පුද්ගලයා ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා (25) නියෝග කළේය.
මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු ආපදා සහන සේවා නිලධාරි වීරසිංහ රාජේන්ද්‍ර සුමිත් වීරසිංහ , තණමල්විල ග්‍රාම සේවා නිලධාරී නිමල් වලිසුන්දර හා සිවිල් පුද්ගලයෙකු වූ කෘස් වින්සන්ට් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩු දෙකක් කැඳවූ අවස්ථාවේදී මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ආපදා සහන සේවා නිලධාරී සැකකරුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු රුපියල් ලක්ෂ 50 වන්දි මුදලේ පළමු වාරිකය වන රුපියල් ලක්ෂ විස්සක වාරිකය ලබාදීමේදී මෙම රුපියල් ලක්ෂයක අල්ලස් මුදල ඉල්ලා ලබාගෙන ඇති බවය.
වඩාත් සෝචනීය කරුණ නම් අඩු ආදායම්ලාභී පැමිණිලිකාරියගෙන් මෙම මුදල් ලබා ගැනීම බවද අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
පැමිණිලිකාරියට දෙවන හා තෙවන වන්දි වාරික ලෙස රුපියල් ලක්ෂ 15 බැගින් රජය මගින් ප්රදානය කරන බවත් , එම වාරික වලින් රුපියල් ලක්ෂ පහ බැගින් ලක්ෂ 10 අල්ලසක් සැකකරු ඉල්ලා ඇති බවත් පැවසීය. විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද ඉල්ලා සිටියේය.
තනමල්විල ග්‍රාම සේවා නිලධාරී හා සිවිල් සැකකරුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ වන්දි මුදලේ පළමු වාරිකය වන රුපියල් ලක්ෂ විස්ස ලබාදීමේදී රුපියල් ලක්ෂ දහයක අල්ලසක් ලබා ගැනීමට සැකකරුවන් කටයුතු කර ඇති බවය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර තවදුරටත් විමර්ශන සිදු කිරීමට නියමිත බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද ඉල්ලා සිටියේය. මෙම විමර්ශනයන් අල්ලස් කොමිසමේ විවෘත පැමිණිලි විභාග අංශය මගින් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පැවසීය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ජනමාධ්‍ය මගින් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක් ලබාදීම සැලකිල්ලට ගනිමින් අල්ලස් කොමිසම මගින් මෙම අත් අඩංගුවට ගැනීම සිදුකොට ඇති බවය.
අල්ලස් මුදල් ලබා නොගත් බවට තම සේවා දායකයින් උපදෙස් ලබා දී ඇති බවත්, විශේෂයෙන් ග්‍රාම නිලධාරීවරයා අල්ලස් මුදල් ඉල්ලීමක් කර හෝ ලබා ගැනීමක් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බවද පැවසීය. සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසටද ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු ලබා දුන් අල්ලස් කොමිසම කියා සිටියේ අල්ලස් මුදල් ලබා ගත් බවට වින්සන්ට් සැකකරු ප්‍රකාශ කර ඇති බවය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් සැකකරුවන් ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd