(අංජුල මහික වීරරත්න)

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ඉන්දීය රජයේ ණය ආධාර පහසුකම් යටතේ රුපියල් මිලියන 7148 වියදමින් අනුරාධපුර, ත්‍රිකුණාමලය, මුලතිව් හා මන්නාරම රෝහල්වල අංග සම්පූර්ණ හෘද රෝග පුුතිකාර සංකීර්ණ දෙකක් සහ සෞඛ්‍ය ප්‍රතිකාර සංකීරණ ඒකකයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් ලබන 16 දින සිදු කිරීමට නියමිතය.

ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 3545 ක වියදමින් ඉදිකරනු ලබන මහල් 08 කින් යුත් අංග සම්පූර්ණ අති නවීන පහසුකම් වලින් සමන්විත දැවැන්ත හෘද ප්‍රතිකාර සංකීරණය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 2403 ක වියදමින් ඉදිකරනු ලබන මහල් 08 කින් යුත් අංග සම්පූර්ණ අති නවීන පහසුකම් වලින් සමන්විත දැවැන්ත හෘද ප්‍රතිකාර සංකීරණය මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 600 ක වියදමින් ඉදිකරනු ලබන අති නවීන පහසුකම් වලින් සමන්විත හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක සංකීරණය මෙන්ම මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 600 ක වියදමින් ඉදිකරනු ලබන මහල් 04 කින් යුත් සියලු පහසුකම් වලින් සමන්විත වාට්ටු සංකීරණය සඳහා මුල්ගල් තැබීමට නියමිතය.