ප්‍රවීණ නර්තන ආචාර්යවරියක ද වූ ප්‍රවීණ කලාශිල්පිනී, ජ්‍යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායන ශිල්පිනියක වන දයා නෙල්ලම්පිටිය මහත්මිය අද (14) අභාවප්‍රාප්ත වූවාය.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් රැසක නර්තන ආචාර්යවරියක ලෙස  දීර්ඝ කාලයක්  ඇය සේවය කළාය. දහස් සංඛ්‍යාත දූදරුවන්ට උඩරට නර්තන සම්ප්‍රදාය ඉගැන්වූ විශිෂ්ට ගුරුවරියක ද වූවාය.

ප්‍රවීණ විරිදු ගායන ශිල්පී සේන ෆොන්සේකා මහතාගේ බිරිඳ වූ ඇය සීමාසහිත විජය පුවත්පත් සමාගමේ කළමනාකාරිනී (ස්ථාවර වත්කම්) පමුදිතා ෆොන්සේකා මහත්මිය ඇතුළු  දරුවන් තිදෙනකුගේ මවක වූවාය. 

මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ කලාකරුවන් රැසකගේම මුල් ගුරුවරියකවූ ඇය මිය යන විට  91 වැනි වියේ පසුවූවාය.

ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ජනකලාව, ජනගී සහ නර්තන කලාව සුරක්ෂිත කරමින් අනාගත පරපුරට දායාද කිරීමට නෙල්ලම්පිටිය මහත්මිය විශාල මෙහෙවරක් කළාය.

ඇගේ දේහය කළුබෝවිල රත්නාවලී මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර  ඒ මහත්මියගේ අවසන් කටයුතු බදාදා (16) සවස 6.00 කොහුවල  පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.