(අංජුල මහික වීරරත්න)

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

රජයට අවශ්‍ය සැපයුම් සිදු කිරීමේදීද ඉදිරියේදි දේශීය ව්‍යාපාරිකයන්ට ලබා දෙන අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සන්ධානය (CUBA - Ceylon United Business Alliance) සමඟ අද (08) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් දේශීය කර්මාන්තවලට එල්ල වී ඇති අභියෝග සහ කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු මෙන්ම ඒ වෙනුවෙන් ලබා දිය හැකි සාධනීය විසඳුම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.