(අංජුල මහික වීරරත්න)

ලංකාවට අදාලව දේශගුණික සෞභාග්‍ය සැලසුම සකස් කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාතයාංශයේදී පැවැත්විණි .

දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම  අනුව මෙම සැලැස්ම සකස් කෙරෙයි.

මෙම සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන්  දේශගුණික අවදානම් සංසදයේ දූත පිරිසක් මෙරටට පැමිණි අතර  රුවන් විජයවර්ධන මහතා ඇතුළු පරිසර අමාත්‍යංශ නිලධාරීහු ද එම දූත පිරිස සමග සමග සාකච්ඡා කළහ.

රුවන් විජයවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ සැකැසුණු දේශගුණ සෞභාග්‍ය සැලසුම මෙහිදී ඉදිරිපත් කෙරිණි.

දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම දේශගුණික විපර්යාසයන් කළමනාකරණය මගින්  තිරසර ආර්ථික සංවර්ධනයක් ලඟා කරගනිමින් නව රැකියා උත්පාදනය ආදී වැඩසටහන් පිළිබඳව මෙම සැලසුමෙන් අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් ලෙස  අනාගත දේශගුණික විපර්යාසයන්ට  මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම පිළිබඳව ද මේ සැලසුමෙන් අවධානය යොමු කර ඇත.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන්  රටවල් 55 ක් සමඟ ක්‍රියාකාරීව කටයුතු කරන දේශගුණික අවදානම් සංසදය  මේ ක්‍රියාවලිය  සඳහා දායකත්වය දෙයි.

ඒ අනුව පාරිසරික හා දේශගුණික බලපෑම් මත ගැටළු මතුවිය හැකි අංශ වන කෘෂිකර්ම, ධීවර, වාරිමාර්ග යන ක්ෂේත්‍ර වෙත ජාත්‍යන්තර සහාය ලබා ගනිමින් ආයෝජන අවස්ථා උදාකරලීම මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් මහතා විසින් කරනු ලබන බව රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.