(බන්දු තඹවිට)
දින තුනක් තිස්සේ ගෙදර කෑමට දෙයක් තිබුනේ නැහැ. සැමියා දරුවන්ට කෑමට දෙයක් ගන්න කීයක් හරී සොයාගෙන එන්නම් කියලා ගියා.එයා ගෙදර ආවේ නැති නිසා මම ගෙදර තිබුණු පුටු දෙකක් විකුණලා දරුවන්ට කන්න දෙයක් හදලා දුන්නා යැයි වැලිපැන්න ප්‍රදේශයේ ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වැලිපැන්න හදිසි මරණ පරීක්‍ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් පැවැසුවාය.
ගෙල වැලලාගෙන මියගිය වැලිපැන්න හොලින්බෝන් ජනපදයේ පදිංචිව සිටි නාගරාජා රන්ජන් (37) නමැති සිව්දරු පියෙකි. ඔහුගේ හදිසි මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වන මාඩසාමි මංජුලා (30) නමැති අය මරණ පරීක්ෂකවරයා ඉදිරියේ වැඩිදුරටත් මෙසේ කීවාය.
මියගොස් සිටින්නේ මගේ සැමියායි. අප විවාහ වෙලා අවුරුදු 14 ක් වෙනවා. අපට අවුරුදු 12 ට අඩු දරුවන් හතර දෙනෙක් ඉන්නවා. පුතාලා තිදෙනකු සහ එක දියණියක සිටිනවා. අපි තෙබුවන සහ නෑබඩ ප්‍රදේශවල සිට මීට මාස 9 කට පෙර සැමියාට රැකියාවක් සොයාගෙන වැලිපැන්නට ආවා.
මගේ සැමියාට ස්ථීර රැකියාවක් නැහැ. ඔහු කුලී වැඩක් කරලා ගන්න මුදලිනුයි අපි ජීවත්වුණේ. අපිට ඉන්න ස්ථීර ගෙයක් නැහැ. රුපියල් 3500 ක කුලියට ගත්ත කාමරයකයි අපි සිටියේ.අපිට ස්ථීර පදිංචියක් නැති නිසා දරුවන්ව පාසලකට දාන්න බැරිවුනා.
මගේ සැමියා වැලිපැන්න ප්‍රදේශයේ ඉඩමක් එළිකරන්න බාරගෙන තිබුනා. ඔහු ඒ සඳහා තවත් අයකු සම්බන්ධ කර ගත්තා. එම පුද්ගලයා සැමියාගෙන් වැඩිපුර මුදල් ලබාගෙන තිබුණා. ඉඩම හිමි අය නියමිත මුදල නොදුන් බව සැමියා කිව්වා. පසුගිය දින කීපයේම සැමියාට වැඩක් ලැබුණේ නැහැ.
දින තුනක සිට නිවසේ කෑමට කිසිවක් තිබුනේ නැහැ. අපිට කවුරුවත් ණයට මුදලක් හෝ බඩු දුන්නේ නැහැ. දරුවන්ට කන්න දෙන්න බැරිවීම නිසා සැමියා කනස්සල්ලෙන් සිටියේ. ඔහු පසුගිය සිකුරාදා කීයක් හරි හොයාගෙන එන්නම් කියලා නිවසින් පිටවී ගියා. එයා එදින රාත්‍රියේ පැමිණියේ නැහැ. පසුදින දරුවන්ව තවත් බඩගින්නේ තියන්න බැරි නිසා මම නිවසේ තිබුණු පුටු දෙකක් විකුණා දරුවන්ට කන්න ගෙනත් දුන්නා. සැමියාට දුරකථන ඇමතුම් ගත්තත් ප්‍රතිචාර දැක්වුවේ නැහැ.
පසුව සැමියා ඥාතියකුගේ නිවසක් අසල ගෙළවැලලාගෙන මියගොස් ඇති බව දැනගන්න ලැබුනා.
අසරණ අපට කාගෙන්වත් පිළිසරණක් තිබුනේ නැහැ. දරුවන්ට කන්න දෙන්න බැරිවීම නිසා සැමියා මෙසේ සියදිවි හානිකරගන්න ඇතැයි සිතනවා. දැන් මම මගේ දරුවන් හතරදෙනා සමග තනිවුනා. දරුවන් කුඩා නිසා මට රැකියාවකට යන්නත් බැහැ. මමත් දරුවනුත් තවත් අසරණ වුණා යැයි පැවැසුවාය.
සාක්‍ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව මියගිය අයගේ මෘත දේහය පිලිබඳ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය සඳහා නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකිරීමට වැලිපැන්න හදිසි මරණ පරීක්‍ෂක නිහාල ජයනෙත්ති මහතා විසින් නියෝග කළ අතර වැලිපැන්න පොලිසියේ පොලිස් සැරයන් ජයරත්න සාක්‍ෂි මෙහෙයවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ වගේ රටක්...!
මට මෙයාලාව සම්බන්ධ කරන්න.. උදව් කරන්න අංකයක් එවන්න.
පුළුවන් නම් නැවත මවගේ බැංකු ගිණුම් අංකයක් සහිතව සඳහන් කරන්න.
රාජපක්ෂ පරම්පරාව ට සාප වේවා... රට කෑවා..!
මොවුන්ට උදව් කිරීමට දුරකථන අංකයක් හෝ විස්තරයක් දෙන්න.
මේ දේවල්වලට මූලික හේතුව වෙන්නේ මේ රජය ගත්තු ගොන් ප්‍රතිපත්ති. ඩොලරයේ කෘතිම පාලනය කරන නිසා මිනිස්සු රටට ඩොලර් එවන්නේ නැතිවීම.. ඒක හින්දා රටේ ඩොලර් හිඟවීම. මේ රජයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති නිසා මිනිස්සු කන්න නැතිව මැරෙනවා. IMF ගිහිල්ලා හරිහැටි විසඳුමක් ලබා ගන්න තාම උස්සාහ කරන්නේ නෑ. එක රැයෙන් කාබනික පොහොර වලට මාරුකරලා රටේ මිනිස්සුන්ට කෑමත් නැතිකළා. අනේමන්දා මේ රටට මොන සාපයක් වෙලාද කියලා....
හරිම කණගාටුයි, මෙයාගේ දුරකථන අංකය ලබාදෙන්න ක්‍රමයක් නැද්ද?
දින කීපයකට පෙර මහාමාර්ග ඇමතිවරයා කියලා තිබුණා ලංකාවේ කිසිවකු බඩගින්නේ නැහැ කියලා.. එයාට මෙම ලිපිය කියවන්න ලැබේවා..!
සෞභාග්‍යය කෙසේවෙතත් සව් ඇටකේ වත් නැති තැනට මේ කාලකණ්ණියෝ අපේ රට පත්කළා...
හෙණ ගහන්න ඕනේ ආණ්ඩුවට සහ පාලකයින්ට...
කරුණකරලා දෙන්න පුළුවන්ද මොවුන්ගේ අංකයක්..! මේක කියවන කෙනෙක්ට හරි පුළුවන්ද හොයලා දෙන්න දුරකතන අංකයක්... මට හොයන්න බෑ අමාරුයි. දරුවන්ගේ බඩගින්න වෙනුවෙන් කවුරු හරි මේකට දාන්න...
මේ පුවත ජොන්ස්ටන් ඇමැතිට කියවන්න ලැබුණද දන්නේ නැහැ. එයා කිව්වනේ ලංකාවේ කන්න නැති අය නෑ කියලා. මේ ගැන හොයලා බලලා කතාව ඇත්තනම් මේක ඒ ඇමැතිට කියන්න. පව් අහිංසක මිනිස්සු.. ලැජ්ජයි අපේ රටේ පාලකයින් ගැන...
මේ වගේ ඛේදවාචකයක් වෙලත් මිනිසුන් නිදා සිටින්නේ ඇයි? අසරණ ජනතාවට කාගේ සරණක්ද? ජොන්ස්ටන් නම් කිව්වා තාම රටේ බඩගින්නේ මිනිසුන් මැරෙන්නේ නෑ කියලා...
මේක අර මිනිස්සුන්ට පෙන්නපල්ලා...!
ඉතාම දුප්පත් අයව දරුවන් පාසලට දාගන්න ඉඩම් ඔප්පු පෙන්වන්න බැරි නිසා නීති වෙනස්විය යුතුයි. දුප්පත් අය කන්න නැතිව මේ විදියට සියදිවි නසාගැනීම රටක පාලකයින්ගේ මෙන්ම අන් පුරවැසියන්ගේ සමාජ පරිහානිය තමයි පෙන්වන්නේ. කන්න නැති අයට නම් දියවන්නාව පැත්තේ අඩුමිලට කෑම දෙන කැන්ටිමක් තියනවලු...
මේ පවුලට සහ මෙවැනි තවත් පවුල්වලට මූල්‍යමය වශයෙන් උදව් කිරීමට වැඩපිළිවෙලකුත් මාධ්‍ය ආයතන වලින් පිහිටෙව්වා නම් ඇතිහැකි අයට හැකි පමණින් උදව් කරන්න පුළුවන්...