(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හිඟා කාල හරි පාසල්  දරුවන්ට ආහාර වේලක් ලබාදීමට හැකිනම් තමා  එය කරන බව  සභානායක, අධ්‍යාපන  අමාත්‍ය  ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය

දරුවන් වෙනුවෙන් යමක් කිරීමට හැකිනම් එය කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලා සිටින බව හෙතෙම සඳහන් කළේ‍ය.

ඔහු මෙසේ පැවසුවේ ප්‍රේමජයන්ත අමාත්‍යවරයා   සිඟා කමින් ආධාර එකතු කරන බවට කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා මැති සබයේදී  ඊට පෙර දින  කළ ප්‍රකාශයට පිළිතුරු දක්වමිනි.

තමාට ඇමැති ධූරය අද නැති වුණොත් හෙට සිට උසාවියට යා හැකි  නමුත් මිනිසුන්  හෑල්ලුවට ලක්කර කතා කරන  පුද්ගලයන්ට එලෙස යන්නට තැනක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

ඇමැතිවරයා එහිදී මෙසේද පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදයෙන් ලබාදුන්න ආහාර තොගයක් සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ පෙරේදා කතා කරලා තිබුණා.ඒක  මාධ්‍යවලත් ගිහින් තිබුණා.දැන් විතරක් නෙවෙයි අපි පාසල් යන කාලෙත් පීඑල් 480  යටතේ ඇමරිකාවෙන් ලැබුණු පිටි වලින් බිස්කට් හදලා දුන්නා. ලෝකයේ බොහෝ රටවල් ඒ ඒ රටවල ප්‍රතිපත්ති එක්ක අනිත් රටවල්වලට උදව් කරනවා. පසුගිය කාල සීමාව තුළ රටේ ඇති වුණ තත්වයත් එක්ක අපි කවුරුත් දන්නවා යුනිසෙෆ් ආයතනයේ වෛද්‍යවරුන්  ළමා මන්දපෝෂණය ගැන කතා කරනවා. දරුවන්  පාසල්වලට එනකොට හරි පෝෂණයක් නැත්නම් ඒක ප්‍රශ්නයක්. බුදුන් වහන්සේ කිව්වෙත් ධර්ම දේශනා කරන්න කලින් ආහාර වේල දීල ඉන්න කියලයි. මම මේ අමාත්‍යාංශය බාරගෙන මාස දෙකයි. ආපු දා ඉඳලා කල්පනා කළේ දරුවන්ට ආහාර වේලක් ලබා දෙන්නේ කොහොමද කියන එකයි . ප්‍රාථමික අංශයේ දරුවන්  ඉන්නවා දහසය ලක්ෂයක් . තෝරාගත් ප්‍රදේශවල දරුවන් ලක්ෂ 11කට පෝෂණය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා . එය තව ශක්තිමත් කරන්න ඕන. ඒ නිසා ඇමරිකානු එක්සත් ජනපදයේ තානාපතිවරිය එක්ක, සේව්ද චිල්රන්ඩ් එක, යුනිසෙෆ් සංවිධානය, ලෝක ආහාර සංවිධානය සමඟ මම කතා කළා.

අපේ රටේ තිබෙන ආර්ථික තත්වය මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම දන්නවා. අපිට යම් ආකාරයක ආධාරයක් ලැබෙනව නම් එය ලබා ගැනීමයි අපේ යුතුකම. එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්  තමයි ටොන් 3000ක සැමන්, කහ, පරිප්පු ලබාදුන්නේ. සේව්ද චිල්රන්ඩ් එක තමයි සුපරික්ෂණය කරන්නේ. මේකට වෙන කණ්ඩායම් යොදවලා උයලා පිහලා දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් යනවා. ඒක බාරගන්න තමයි මම ගියේ. මම කළු සූට්එක ඇදලා උසාවියට ගිහින් විත්තිය වෙනුවෙන් පෙනී සිටින කොට සමහරුන්  විත්ති කූඩුවේ හිටියා. ඒ අයට අමතකයි අපි කළු සූට් ඇඳුපු අය කියලා. එහෙම නැතුව නිකම් පම්පෝරි ගහන්නේ නැතුව වැඩ කරන්න කියලා ඉල්ලා සිටිනවා.