(කාංචනකුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද දින සිට ක්‍රියාත්මක කළ නව රථවාහන සැලැස්ම නිසා තමන් එළවලු මිල දී ගැනීමේ දී ඒවා පැටවීමට විශාල කාලයක් මුදලක් වියදම් වන බව පවසමින් පිට පළාත්වලින් ආ වෙළෙන්දෝ සිය විරෝධය දැක් වූහ.

එළවළු මිල දී ගැනීම සඳහා පැමිණ සිටි කොළඹ ගම්පහ මිගොඩ ,වැලිසර ආදී ආර්ථික මධ්‍යස්ථානවල මෙන්ම පිටපලාත් තොග වෙළෙන්දෝ මෙසේ සිය විරෝධය ප්‍රකාශ කරමින් ගොවීන් රැගෙන ආ එළවළු මිලදී නොගෙන ඉවත් ව සිටියහ.

ආර්ථික මධ්‍යස්ථානය තුළ පිහිටි රථගාලේ  ලොරි නවතා වෙළඳසල්වලින් මිලදී ගන්නා එළවළු  කම්කරුවන් සහ කරත්ත යොදාගෙන ලොරි වෙත රැගෙන යෑමට වෙළඳ සංගමය ගත් තීරණය නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වෙළෙනදෝ චෝදනා කළහ.

එම තීරණය නිසා තමන්ට කරදර සිදුවනවා පමණක් නොව අධික වියදම්ක් මෙන්ම එළවළු බෑම පැටවීම අවස්ථා කිහිපයක් සිදුකිරීම් නිසා එළවළුවලට හානි වන බව ඔවුන් පවසති.