(අංජුල මහික වීරරත්න)

ඇඳන් 300කින් යුත් රෝහලක් ඉදි කර දෙනියාය මූලික රෝහල ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මාතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වල විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල 70,000ක් පමණ වන ජනතාවට, ඇඳන් ධාරිතාව 137කින් සමන්විත දෙනියාය මූලික රෝහල මඟින් වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ප්‍රසව හා නාරිවේද සහ ළමා රෝග යන විශේෂඥ වෛද්‍ය සේවා මෙන්ම අක්ෂි, වර්ම, මානසික, විකිරණ වේද, රසායනාගාර, අධිකරණ වෛද්‍ය, සායනික, හදිසි ප්‍රතිකාර සේවා, සෞඛ්‍ය අධ්‍යාපනය සහ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා සපයනු ලබයි. දෙනියාය ප්‍රදේශයේ පවතින ඉහළ උන්නතාංශය, අධික බෑවුම සහ අධික වර්ෂාපතනය යන සාධක මත මෙම ප්‍රදේශය නායයාම් අවදානමට ලක් වී ඇති අතර, රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය සහ බාහිර රෝගී අංශයේ ඉදිරි පස ප්‍රදේශය මෙන්ම මාතෘ ඒකකය අවට ප්‍රදේශය ද 2023 සහ 2024 වසර වලදී නාය යාම් වලට ලක් වී ඇත. 

එබැවින්, අලුතින් හඳුනාගත් ස්ථානයක ඇඳන් 300 කින් සමන්විත නව රෝහලක් ඉදිකිරීමෙන් සම්පූර්ණ රෝහලම සුදුසු සහ ආරක්ෂිත ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරීමට යෝජනා කර තිබේ. ඒ සඳහා නගරයේ සිට කිලෝමීටර 3 ක් පමණ දුරින් පිහිටි හැන්ඩ්ලර්ඩ් වතුයායෙන් ඉඩම් කොටසක් දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අත් කරගනු ලැබ ඇත. ඒ අනුව, අදියර 2 ක් යටතේ රුපියල් මිලියන 6,000ක ඇස්තමේන්තුගත වියදමකින් ඇඳන් 300කින් යුත් නව රෝහලක් එකී ඉඩමේ ඉදිකර දෙනියාය මූලික රෝහල ප්‍රතිස්ථාපනය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.