(විමුක්ති එස් රුද්‍රිගු)

යුරෝපයට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් පසුගිය 21 වැනිදා සිට මේ දක්වා මරණ 1300 ක් පමණ සිදුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

උණුසුම යුරෝපයේ නිවාස, පාසල් සහ රැකියා ස්ථානවලට නිහඬ මාරයෙක් වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය. ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය පෙරේදා(28) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ දැඩි උණුසුම හේතුවෙන් මරණ 1000 ක් පමණ සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්ට අවදානම ඉහල බවද එහි දැක්විණි.

එසේම පෙරේදා(28) ජර්මනිය, පෝලන්තය සහ චෙක් ජනරජය ඇතුළුව රටවල් ගණනාවක දැඩි උණුසුමක් වාර්තා වී තිබූ අතර උණුසුම් සහිත නැගෙනහිර දිශාවට ගමන් කරමින් තිබිණි.

උණුසුමෙන් පුද්ගලයන් මරණයට පත්වන අතරතුර උණුසුම මගහරවා ගැනීමට ගංගා, ඇළ දොළවල් වල පිහිනීමට ගිය පිරිස් දියේ ගිලී මියගිය සිදුවීම් කීපයක්ද යුරෝපයෙන් වාර්තා විය.