(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා දිවයින පුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

මේ අනුව රට නැවත විවෘත කෙරෙන්නේ ලබන 13 වැනිදා අලුයම 4.00ටය.

නිරෝධායන ඇඳිරි නීතිය අනිද්දා ( 6 ) වැනිදා සඳුදා ඉවත් කිරීමට මුලින් තීරණය කර තිබිණ.

දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය මස 20 වැනිදාය.

මේ අනුව රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය අද(4) වනවිට ක්‍රියාත්මක කර ඇති දින ගණන 16කි.

රටපුරා කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවත් සතියක කාලයක් රට වසා තබන්නැයි වෛද්‍ය විශේෂඥයන් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී ඊයේ පෙන්වා දී ඇත. නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් 19 ජනාධිපති කාර්ය සාධක බළකාය ඊයේ රැස්වී ඇත්තේ "සූම්" තාක්ෂණය ඔස්සේය.

කොවිඩ් අවදානම හේතුවෙන් කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ මෙලෙස පැවැත්වුණේ පළමු වතාවටය.