(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තිය ලබන වසරේ මුල් කාර්තුවේදී ක්‍රියාත්මක කරන බව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.

තරුණයින් මුහුණ දෙන ගැටලු සඳහා විද්‍යාත්මක හා තිරසාර විසැඳුම්, මාර්ගෝපදේශ සහ නිර්දේශ ලබා දිය හැකි පරිදි මෙම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම රජයේ  අරමුණ බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

​ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ තරුණ සංවර්ධනය පිළිබඳ පළමු ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය 2026 අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

රත්මලාන ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩල ශ්‍රවණාගාරයේදී අද(16)මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

​"ස්වශක්තීන් මත පදනම්ව සමාජීය පරිවර්තනයක නියමුවන් ලෙස, අයිතිවාසිකම් උරුම කරගත් තාරුණ්‍යයක්"

යන තේමාවෙන් පැවැති මෙම සම්මන්ත්‍රණයේදී ප්‍රධාන ක්ෂේත්‍ර 9ක් ඔස්සේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම සිදු කෙරේ.

​එම ක්ෂේත්‍ර අතරට තරුණ සබලගැන්වීම සහ නායකත්වය, අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ කුසලතා සංවර්ධනය, සෞඛ්‍යය, මානසික සුවතාවය සහ පෝෂණය, තරුණ ව්‍යවසායකත්වය සහ ආර්ථික සහභාගීත්වය, තාක්ෂණය, ඩිජිටල්කරණය සහ නවෝත්පාදනය, දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධනය, සුළුතරභාවය, සමාජ ඒකාබද්ධතාවය සහ නීතියේ ආධිපත්‍යය, තරුණ සංක්‍රමණය සහ අන්තර්ජාතික සබඳතා මෙන්ම කලාව, සංස්කෘතිය සහ නිර්මාණාත්මක ප්‍රකාශනය යන අංශ ඇතුළත් ය.