(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)

වත්මන් ආණ්ඩුව අරගලයේ ඉල්ලීම කුණු කූඩයට දමා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

2022 වසරේ ක්‍රියාත්මක වූ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස තරුණ තරුණියන් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල සාමාජිකයන් ලෙස එක් කර ගෙන ප්‍රතිපත්ති සම්පාදනය උදෙසා තාරුණ්‍යයේ මතය සහ අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වූ නමුත් වත්මන් රජය බලයට පත් වූ පසු ආංශික අධීක්ෂණ කාරක සභා ප්‍රමාණය අඩු කර තරුණ සහභාගීත්වය ඉවත් කර ඇතැයි ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී අධීක්ෂණ කාරක සභා අහිමි වූ තරුණයන් මුණ ගැසුණු අවස්ථාවේ දී ය.

අරගලය ඉල්ලා සිටි යෝජනාව ක්‍රියාත්මක වී වසර දෙකක් තුළ නව රජය පත්වී තරුණයන්ට තිබූ අවස්ථාව ඉවත් කර ඇති බව කී විපක්ෂ නායකවරයා ඒ අවස්ථාවේ තරුණයන් මේ අධීක්ෂණ කාරක සභාවලින් ඉවත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගය අදහස් ඉදිරිපත් කළත් රජය ඊට ඇහුම්කන් නොදී ඇති බව සඳහන් කළේය.