(මනෝප්‍රිය ගුණසේකර)

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට තෝරාගෙන තිබියදී එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමෙන් තම මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඉදිරියේදී එවැනි ක්‍රියා වැළැක්වීම සඳහා සුදුසු ජාතික මාර්ග උපදේශන වැඩපිළිවෙළක් සකස් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාත්‍යන්තර මල්ල ක්‍රීඩකයෙකු වන ජුලියන් විජේසිංහ මහතා විසින් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් 11 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණී.

වගඋත්තරකරුවන් වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා” ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ මළල ක්‍රීඩාවන්ගේ ජයග්‍රහණ ලැබූ දිවයිනේ ප්‍රකට මලල ක්‍රීඩකයෙක් වන බවද පෙත්සමේ සඳහන් වේ.

පසුගිය 17  වැනිදා එක්සත් රාජධානියේදී පැවැත්වීමට නියමිතව තිබූ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට පෙත්සම්කරු තෝරාගෙන සිටි අතර කිසිදු හේතුවක් නොදන්නවා එම ලැයිස්තුවෙන් තමන් ඉවත් කළ බවද එය සම්පූර්ණයෙන්ම ස්වභාව යුක්ත මූලධර්මයට පටහැනි” නීතියට පටහැනි ක්‍රියාවක් බවද පෙතසම්කරු කියා සිටි.

මේ තත්ත්වය තුළ තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවද ඉදිරියේදී ක්‍රීඩකයන්ට මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා විනිවිදභාවයෙන් යුත් ජාතික මාර්ග උපදේශක වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කළයුතු බවද පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටි.

එබැවින් මෙම පෙත්සම විභාග ගැනීමට අවසර ලබා දෙන ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙසද ජා්‍යන්තර ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩකයන් තේරීමේ සුදුසු මාර්ග උපදේශක මලාවක් සකස් කිරීමට නියෝග කරන ලෙසද සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ වියංග රුද්‍රිගු මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා පෙනී සිටියේය.