( තිළිණි ද සිල්වා )

විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා  දූත මණ්ඩල තුනක් වසා දැමීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි එම අමාත්‍යාංශ ආංරචි මාර්ග කියා සිටී.

ඒ අනුව විදේශ අමාත්‍යාංශය විසින් නයිජීරියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ,ජර්මනියේ  ෆ්‍රැන්ක්ෆර්ට් හි පිහිටි  ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වසා දැමීමට නියමිතව ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

රජයේ වියදම් කපා හැරීමේ සහ රජය සතු ඇමෙරිකානු ඩොලර් ඉතිරි කර ගැනීමේ පියවරවල කොටසක් ලෙස මෙම ශ්‍රී ලංකා දූත මණ්ඩල වසා දමන බවද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.

ෆ්‍රැන්ක්ෆර්ට් කොන්සල් කාර්යාලය වසා දැම්මත් සමග එහි කටයුතු කටයුතු බර්ලින් හී පිහිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගෙන යාමට නියමිත බවත් , වත්මන් තත්ත්වය යටතේ නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කටයුතු කරගෙන යාමට නොහැකි බව පෙනී ගිය බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කියා සිටී. ඊට අමතරව සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වසා දමන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙය අනෙකුත් සියලුම අමාත්‍යාංශ ද මේවන විට  අනුගමනය කරන වියදම් කැපීමේ ක්‍රියාවලියක කොටසක් යැයිද විදේශ අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මීට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවතින ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවට ගොඩ ඒම සඳහා සියලු අමාත්‍යාංශවලින් අඛණ්ඩව සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය