(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසර ආරම්භයේ සිට පසුගියදා 20 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ඩෙංගු රෝගීන් 46,037ක් වාර්තා වී ඇති බවත් එම රෝගීන්ගෙන් 28ක් මරණයට පත්වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය.

ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙම මාසයේ බවත් මෙම මාසයේදී ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගීන් 12,196 ක් වාර්තා වී ඇති බවත් එම දත්ත වාර්තාවේ දැක්වේ. එසේම අඩුම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ බවත් ඩෙංගු රෝගීන් 5,651ක් අප්‍රේල් මාසයේදී වාර්තා වී ඇති බවත් එහි සඳහන් වේ.

එසේම ජනවාරි, පෙබරවාරි, මාර්තු සහ මැයි මාසවල පිළිවෙළින් ඩෙංගු රෝගීන් 7,866ක්, 5,721ක්, 6,013ක් සහ 8,590ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් ඩෙංගු රෝගීන් 23,823ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් එම දත්ත වාර්තාවේ දැක්වේ. සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් එය ප්‍රතිශතයක් ලෙස සියයට 51.75ක් බවද එහි සඳහන් වේ.

දෙවැනි සහ තෙවැනි ස්ථානයට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දකුණු, සබරගමු පළාතෙන් බවද එහි දැක්වේ. දිස්ත්‍රික්ක වශයෙන් ගත්කළ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ බවත් ඩෙංගු රෝගීන් 9,692 ක් කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

එසේම දෙවැනි සහ තෙවැනි ස්ථානයට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ සහ මාතර දිස්ත්‍රික්කවල බවත් එම දිස්ත්‍රික්කවල පිළිවෙළින් ඩෙංගු රෝගීන් 8,459ක් සහ 3,344ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.