(නිමල කොඩිතුවක්කු)

පරාජිත පොහොට්ටු චෞර වළල්ල අද නැවත නැගී සිටීමට උත්සාහ කරමින් සිටින්නේ වත්මන් ජනාධිපතිවරයා තනාදුන් වැල් පාලමෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාපැවසීය.

පිලිස්සුණු නිවාසවලට වන්දි ලබා ගැනීම, මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සලසා දීම සහ වසර හතරකට මැතිවරණ සිතියම හකුළුවා දීම මත වර්තමාන ජනාධිපතිවරයාව පොහොට්ටු මන්ත්‍රීවරුන්  පත් කර ගත් බවත් වත්මන් ජනාධිපතිවරයා ඒවා පොරොන්දු වූවාටත් වඩා හොඳින් ඉටු කරමින් සිටින බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝක ආහාර දිනයදා රටේ ජනතාවට කන්න නැති කරමින් ගොවියා නැති භංග කරපු ඇමතිවරයා නියෝජනය කරන ආසනයෙන් නැවතත් පරාජිත පොහොට්ටු කල්ලිය නැගිටීමට රැස්වීමක් සංවිධානය කිරීම දෛවයේ සරදමක් බවත් සමගි ජන බලවේගයේ පොල්ගහවෙල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු පැවසීය.

අළු පිස දමා නැගිටින්නට හදන රැස්වීම සංවිධානය කොට ඇත්තේ සමගි ජන බලවේගය කාර්යාලය පොලීසියෙන් වටකොට සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමෙන් බවත් එම රැස්වීමෙන් පසුව තමන් ද නාවලපිටියේ රැස්වීමකට පැමිණෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.