(යොහාන් භාසුර)

අධිකරණ විෂය පථය පිළිබඳව ජ්‍යෙෂ්ඨයන්ගෙන් සහ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගත්තේ යැයි ජනාධිපතිවරයා පවසන නිසා ජනාධිපතිවරයා උපදෙස් ගත් ජ්‍යෙෂ්ඨයන් සහ ප්‍රවීණයන් හෙළිකරන ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (17) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

නාමල් රාජපක්‍ෂ මහතා එහිදී මෙසේ ද අදහස් දැක්වීය.

“අපි දැනගන්න කැමතියි ජනාධිපතිතුමාට උපදෙස් දෙන ජ්‍යෙෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද යැයි දැනගන්න. ජනාධිපතිවරයා පැහැදිලිවම මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන කාරණයක් සම්බන්ධයෙන් අත්තනෝමතික තීරණයක් ගන්නවා. ජනාධිපතිවරයා කියනවා විෂය පථය පිළිබඳව ජ්‍යෙෂ්ඨයන්ගෙන් සහ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගත්තා කියලා.

අපි දැනගන්න කැමතියි ජනාධිපතිතුමාට උපදෙස් දෙන ජ්‍යෙෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද? දැන් රටේ නීතිඥ සංගමය ඒකට විරුද්ධයි නම්, විනිශ්චයකාරවරුන්ගේ විරෝධයක් තියෙනවා නම්, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය සහ ආසියාතික නීතිඥ සංගමය මේ පිළිබඳව තමන්ගේ මතය විරුද්ධව ප්‍රකාශ කරලා තියෙනවා නම්, එහෙමත් නැත්නම් මේ පිළිබඳව පැහැදිලි දැක්මක් නැති බව අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන්න හැකියි කියන ආකාරයෙන් හැකියි කියන කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුවත් කරලා තියෙනවා නම්, ඉතින් මේ ජනාධිපතිවරයා ගන්න අවදානම පිළිබඳව නම් හිතාගන්න බෑ.

නමුත් අවදානම කෙසේ වෙතත් ජනාධිපතිතුමා කාගේ හරි අවධානය යොමු කරගන්න දඟලන බවක් නම් පේනවා. හැබැයි ජනාධිපතිතුමා මේ වැඩේ කරලා කාගේ අවධානය ද යොමු කරගන්නේ කියන කාරණය පිළිබඳව අපි විමසිල්ලෙන් බලන් ඉන්නවා. මොකද අවදානමක් නම් පේන්න නෑ, හැබැයි අවධානයක් ගන්න නම් ජනාධිපතිවරයා ලෑස්ති වෙන බව පේනවා. ජනාධිපතිතුමා මුහුණ දීලා තියෙන අත්දැකීම් අනුව එතුමාට එහෙම හිතෙනවා ඇති. මොකද 159ක් මල් පැල ගෙනාවනේ ජ්‍යෙෂ්ඨයෝ ඕන නෑයි කියලා. ඒ ගෙනාවට පස්සේ ජනාධිපතිවරයාට හිතෙනවාද දන්නේ නෑ මලකෙළියයි, කරගත්ත වැඩේ අපරාධයක්, ඒ හින්දා අත්දැකීම් තියෙන මිනිස්සු හිටියා නම් හොඳයි කියලා.