(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ජී.එස්.පී ප්ලස් ලබා ගැනීමේ කොන්දේසි සපුරා ගැනීම සඳහා  අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය.

ශ්‍රී ලංකාවේ  ඒ සම්බන්ධයෙන් ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අදාල නියෝජිතයන්ට දැනුම් දුන් බවද  හෙතෙම සඳහන් කළේය.

ජී.එස්.පී ප්ලස් පරිත්‍යාගයක් නොවන බවත් එය ගිවිසුමක් බවත්  ඔහු පැවසුවේය.

ඇමැතිවරයා  එසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ  දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

ජී.එස්.පී ප්ලස් අහිමි කළ හොත්  ඉන් පාඩු වන්නේ රජයට නොවන බව පැවසූ ඇමැතිවරයා මේ රටේ දිළිඳු ජනතාවට බවද කීවේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන්  බැට කෑ ධීවර  ජනතාවට ජී.එස්.පී ප්ලස් ලොකු සහනයක් බවද  ධීවර නිෂ්පාදන පිටරට යවන්නේ ජී.එස්.පී ප්ලස් හරහා බවද  ඔහු පැවසුවේය.

ජී.එස්.පී ප්ලස් අහිමි කිරීම සාධාරණ ප්‍රතිපත්තියක් නොවන බවද  පීරිස් මහතා කියා සිටියේය.

ජී.එස්.පී ප්ලස් අහිමි නොවනු ඇතැයි  තමාට විශ්වාසයක් පවතින බවත්  මේ සම්බන්ධයෙන් කළ යුතු දේ කරගෙන යන බවත්  ඔහු කීවේය.

ජී.එස්.පී ප්ලස් සම්බන්ධ සියලු තොරතුරු බ්‍රසල්ස් නගරයට යොමු කර ඇතැයිද  විදේශ කටයුතු ඇමැතිවරයා  පැවැසීය

මේ රටට ආයෝජන ලබාගත හැකි බවත් ආයෝජන ගලා ඒමට දිරිගැන්වීම් කළ යුතු බවත්  ඇමැතිවරයා සඳහන් කළේය.

සංචාරක ඇමැතිවරයා  සහ තමා   ලබන සතියේදී   යුරෝපයේ සියලුම තනාපති තනාපති කාර්යාල අමතන බව පැවසූ මහාචාර්ය ජී එල් පීරිස් මහතා  සංචාරක කර්මාන්තය දියුණු කිරීමට විශේෂ ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි එහිදී ඉල්ලීමක් කරන බවද  පැවසුවේය.

අලුත් විදියේ සංචාරකයින්  අද රටට පැමිණෙන බවද  ඔහු කීවේය.

මොන ප්‍රශ්න තිබුණත් රටේ  අපනයන ආදායම කඩා නොවැටුණු බවත්  අපනයනය සඳහා අගය  එකතු කිරීම  ඊට බලපෑ බවත්  මහාචාර්යවරයා පැවැසීය.