චීන යුද නෞකාවක් ඕස්ට්රේලියානු ඔත්තු බැලූ ගුවන් යානයකට ලේසර් කිරණ ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

ඕස්ට්රේලියාවේ බෝයින්ග් පී8-ඒ පොසයිඩන් ඔත්තු බැලීමේ යුද ගුවන් යානයකට මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත.

එම අවස්ථාවේ පැපුවා නිව්ගිනියාව සහ ඔස්ට්රේලියාව අතර ජාත්‍යන්තර මුහුදු සීමාවේ මෙම යානය පියාසර කරමින් සිට ඇත. ගුවන් යානයේ රේඩාර් පද්ධතිය විසින් මෙම ලේසර් කිරණ හඳුනාගෙන ඇත.

ඕස්ට්රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුව චීනය ඔත්තු බැලීමේ ගුවන් යානයකට ලේසර් ප‍්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කළ අතර,ජීවිත හානි හෝ දේපල හානි සිදු නොවූ වත් එය ”ජීවිත අනතුරේ” වැටීමට ඉහළ අවස්ථාවක් තිබූ ”බරපතල ආරක්ෂාවට තර්ජනයක් වූ සිද්ධියක් ” ලෙස හෙළා දැක ඇත.

ඕස්ට්රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශයෙක් පැවසුවේ චීනය විසින් ඉලක්ක කළ යානය බෝයින්ග් පී8-ඒ පොසයිඩන්,ආයුධ පද්ධති සහ සබ්මැරීන හඳුනාගැනීම සඳහා සංවේදක වලින් සමන්විත සමුද්‍ර මුර සංචාර ගුවන් යානයක් බවයි.

අද දින ප‍්‍රකාශයක් නිකුත් කරමින් ඕස්ට්රේලියානු අගමැති ස්කොට් මොරිසන් මෙම සිද්ධිය ”අනවසර” සහ ”අනවශ්‍ය” ”බිය ගැන්වීමේ ක‍්‍රියාවක්” ලෙස හැඳින්වීය.චීන රජය මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු ප‍්‍රකාශයක් කර නොමැත.

(විමුක්ති එස් රුද්‍රිගු රොයිටර්ස් ඇසුරිනි)